1,804 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 5 years ago 281 2 1

Nisadas Image

වනගත සෙනසුනක සුව

(වනගතව බවුන් වඩනා හිමිවරු)

සසර මග හරි රළුයි කටුකයි
හිත් තැවුල් නියතයි දුකයි
එතෙර වන්නට නොහැක අපි අපි
බැදුණු තැන්වල සැප හොයයි...

නිතර දකිනා හැම තැනම දුක
රුදුරු ගින්නෙන් යළි දැවෙයි
සසර හැර දා සැනසෙන්න තව
අපිට නිවනත් දුර වගෙයි...

සිවුර ඇගලා බුදු පුතෙක් වී
සසර කෙටි කරනා නියා
සිවුර යටිනුත් කාසි හංගන
නපුරු උන් දැන් බෝ වෙලා...

නමුත් නොදකින අදුරු තැන්වල
ගන වනන්තර තුළ පවා
බවුන් වඩනා බුදු පුතුන් වෙති
පුදුම සීලයකින් මෙදා...

ගැටෙන තැන්වල කොහොම සැනසුම
හොයන්නද හිත් චංචලයි
සිවුර පෙරවූ පමණටම නම්
සසර මග කෙටි වී නොයයි...

ඈත හිමයක තනිව වනයක
සොඳුරු බුදු පුතෙකුගෙ ළගයි
සැබෑ ධර්මය ජීවමානව
තිබුණෙ ඒ නොපෙනෙන ඉමයි...

- චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 310 1 2

Nisadas Image

සුන්දරත්වයක අරුමය

මිහිකත සොඳුරියට අබරණ
පැලැන්දවූ...
සුන්දර සොබාදම හැඩකර
කවි පබැඳූ...
මේ ගහකොල සොඳුරු මල් ගොමු
අතර තැබූ...
රළු හදවත් පවා උණුවෙයි
මිහිර ලැබූ...

හිමිදිරියක අරුණ රැස් කිරණක්
මැද්දේ...
මිහිලිය සිනාසෙන සුන්දර
ගම්මැද්දේ...
මම දුටු සුන්දරම දසුනයි
මගෙ දිවියේ...
කැකුලක් පිපී ඇත ලස්සන
හිමිදිරියේ...

හැන්දෑ අහස පරයන සුන්දර
පාට...
ඒ මල මුවග තිබුණා ඒ ලා
රෝස...
සුන්දර යුවතියක හිස ලූ බොර
පාට...
සුන්දර හිස් වැස්මක් රිසි
ඒ කවුද...

නිල් ගගනතට හිරු ඇවිදින්
හිනැහෙද්දී...
මම දුටු සුන්දරම ඒ මල
හිනැහෙද්දී...
කුසුමේ තනිය මකනට රහසින්
එද්දී...
නැවතුණු ලස්සනම බඹරෙක්
දැක ගතිමි...

මේ නම් සොබාදම් දෙවගන
ලොවට මැවූ...
තව සුන්දරම දසුනකි නෙත් සිත්
පිනවූ...
අඩු වැඩි වර්ණ නිසි ලෙස යහමින්
ගැළපූ...
මල මත බඹරින්දු සිතුවමකට
සුදුසූ...

- චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 290 3 2

Nisadas Image

නිමිත්ත: යොවුන් වියේ දැඩි සේ පෙම් කළ යුවළකට අවාසනාවන්ත ලෙස වෙන් වීමට සිදු විය.

-අවසානයේ යුවතිය වැන්දඹුවක් ලෙසත් හෙතෙම තනිකඩ මහල්ලෙක් ලෙසත් මහළු මඩමක් තුළ යළිත් මුණ ගැසේ-


හදවත කොණක හසරැල්ලක් රැදුනාට
අවතැන් හීන සිතුවිල්ලකි නුඹ මෙමට
අසරණ වුණත් ජීවිතයේ එක තැනක
ලියන්නට හිතයි කවියක් අපි ගැනම

මල් පිබිදෙන යෞවනයේ ඉම කොණක
වෙනකෙකු අත රැගෙන මා දුර ගිය කලට
අපි ලියු කතාවේ පිටුවක් පුරාවට
දනිමි කදුළු හැලු බව නුඹ මම සේම

අවතැන් කෙරූ ආදරයේ සුපෙම් හද
වෙනතක බැඳෙන වග හීනෙන් දුටිමි මම
ජීවිත සැන්දෑවෙ ඉම කොණ තවම හිද
අපි අපි ගැනම නොහිතන බව කියනු කිම

හැම හවසකම මේ පියසේ මුණ ගැහෙන
හැම දවසකම මගෙ නෙතු ළග හිත තියන
මහළු මඩමෙ කඳුලැලි මැද සිනාසෙන
අවතැන් පෙම්වතුන් යුවළයි අපි දෙදෙන

ජීවිත කතාවේ පෙම් කවි ලියනකොට
වැඩිහිටියන් නොමැරුවා නම් සුපෙම් හද
වැන්දඹුවක් ලෙසින් මේ මඩමේ තනිව
නොසිටිනු ඇති මමත් මෙලෙසින් අවතැන්ව

යොවුන් වියේ බැඳි ආලය ජය ගන්න
හැකි වූවා නම් අපි අපගේ වෙන්න
තනිකඩ මහල්ලෙක් සේ මෙහි නවතින්න
නුඹටත් සිදු නොවනු ඇති අවතැන් වෙන්න

යුග ගමනේ එක් වෙන්නට වරම් නැතත්
මහළු වියේ නුඹ නෙත දැක ගැනුම සැපක්
දෛවය උරුම කළ ඒ දුක් කන්ද මැදත්
නුඹෙ ළෙංගතු සිනහව මහමෙරක් අදත්

මම,
චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 313 1 2

Nisadas Image

මම කවියට ප්‍රේම කරමි. හෘදයංගම කවිය කියවා රසවිඳිමි. හැගෙන දැනෙන දේවල් කවි කරමි. කවි අතර මා සොයා යමි.

2020 උඳුවප් මස 29 වැනි දා අඟහරුවාදා
ප.ව. 10.22 යි... ✍

මම යනු,
____________________________________?____

ජීවන කවිය යළි යළි තව ලියනකොට
සමහර වචන පද වැල් මැකුවා නැවත
හරි ලස්සනයි හිතවත් යැයි සිතුව තැන
සිතු දේවල් තිබුණා දැයි සැකයි තව

හිතට දැනෙන හැඟෙනා දේවල් ගොන්න
කුරුටු ගාන අපූරු කවියන් අතර
කවිය තරමටම සුන්දර හිත් දැරුව
පුදුමාකාර කවියොත් දුටුවා මනෙත

කවියෙක් කියා මම මට නොකියමි තවම
සිතුවිලි කුරුටු ගානා ජීවියෙකි මම
කියවා මිහිර විඳගන්නට මෙන් ම ඔය
කවි පද කුරුටු ගෑමට හරි රිසියි හිත

බොහෝ සොඳුරු කවිකම් කියවලා ඇතී
ඒ මිහිරට මගෙ සිතුවිලි බැඳිලා ඇතී
ඒ කවි ගැන හිත ලොබ වූ නමුදු බැඳී
කවිය එහි තබා රස පමණක් ගනිමී

ගසක මලක් පිපිලා සුවඳක් දෙද්දී
ආසයි නෙළන්නට මල ලස්සනයි සිතී
මලෙහි අයිතියක් ඇත්තේ ගසට නිතී
සුවඳ පොදක් පමණක් විඳ පිටව යමී

මහිත ලෝලකම් කරනා දෙයක් වෙද
කුරුටු ගාන්නම් කහටක් නැතිව තව
අයිති නොවෙන ඉඩම් වලට ඉතින් ලොව
රහසින් ඔප්පු නොලියන කවියෙක් ය මම

මම,
චතූ
___________________________________?✍___

චතුරංගි හර්ශිකා 5 years ago 339 3 2

Nisadas Image

අන්තර්ජාලයේ තිබී කියැවූ කවි පන්තියක්. මම එයට විශේෂයෙන් කැමති නිසා සටහන් කර තබන්නට සිතුවෙමි...✍

? මෙහි රචකයා නිරෝෂන් නම් විය...? මම පෞද්ගලිකව මෙම කවි පන්තියට බොහෝ කැමැත්තෙමි. කියවීම සහ රසවින්දනය යනු හුදෙක් ම ආත්ම තෘප්තිය හා බැඳි දෙයකි.

මම ලියූ දෙයක් මගේ යැයි කියා එය කියැවීම සහ ලිවීම මට තෘප්තියක් සේම අන් අයෙකු ලියූ දෙයක් අන් අයෙකුගේ බව සඳහන් කරමින් එය පොදුවේ රස විදීම මට තෘප්තියකි.❤ හුදෙක් රසවින්දනය සඳහා ම මෙසේ මෙම උපුටා ගැනීම මෙහි දක්වමි. ✍

❇️❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇

ජීවිත පොතේ අවසන් පිටු තුන හතර
ඔත්පල දෑස් කියවාගෙන යන අතර
පිං පඩි හලේ පඩි ගණිනා අතරතුර
පඩි පෙළ පාමුලේ නුඹ හැර මතක දොර

කෙහෙරැළි කොහෙද නළලේ සිට දග කරන
ඇති කෙස් ටිකත් සුදු පාටක් තවරගෙන
සුන්දර සිනාවක හැම තැන ඉරි තැලුණ
ජීවිත පොතේ මැද පිටු හිත පාරවන

අප තැනු මාලිගා අහසේ තාම ප්‍රියේ
වෙව්ලන දෑත්වල දහසක් රහස් තියේ
සිතුවිලි පර වුණත් සෙනෙහස තාම ළයේ
යව්වන සුවඳ සුළි සුළඟට ගසා ගියේ

මසකට වරක් පිං පඩි දා මුණගැහෙන
හැම පෝයටම මට එක්කම මල් ගෙනෙන
ඔබ මම තවම මේ සසරේ බර අදින
පෙම් යුවළක් ය තනි තනිවම දිවි ගෙවන

පිං පඩි ගන්න පෝයට සිල් අරගන්න
ඔබ දැකගන්න මතකයෙ දොර ඇරගන්න
මේ දුක සතුට ගෙන ආයෙත් ඔබ එන්න
තව පිටු කීපයයි කියවා නිම වෙන්න







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps