චතුරංගි හර්ශිකා Nisadas Count (437)
චතුරංගි හර්ශිකා 2 years ago 274 1 2
ඉඳුරු දිග රිසි සඳ සිනාවට කවි පේළි ඇවිලිලා යයි නම් වලාකුළු එකිනෙක ලිහෙද්දී නුඹේ ඇස් තුළ මම ගිලෙන්නම් තුඟු පුළුල් උර සිනා කෙහෙරැළි දඟ දෑස්වල හැඩ හඟින්නම් පුරා දින සති ගෙවා සිහිනෙන් නුඹෙ පුළුල් උර මත නිවෙන්නම්
චතුරංගි හර්ශිකා 4 years ago 639 5 4
ජීවිතේ දිගුම හෝරා බරම සුසුම් වලින් මනිනකොට, හදවතේ සියුම්ම නහර පාසා සීරුවෙන් පා තියා සපැමිණි ආගන්තුකයා නුඹ... හීනයෙන් පවා නොදුටු කවියක පද එකින් එක ගෙතෙනකොට නොහිතාම බැඳුනු ස්නේහයක ශිශිරයත් උණුසුම් කරන හිරු නුඹ... කුළුඳුල්ම පැතුම් මිටියක පිටු එකින් එක දිගහරින නොඉඳුල් කුරුළු මුවක නිතරෝම ගැයෙන කවියක්ද නුඹ... හැන්දෑවෙ සුළඟ පිසගෙන වසත් මල් කැකුළු පිපෙනකොට නොදැනීම බැඳුනු ප්‍රේමයක නොගැටීම රැඳුනු උමතුවක් ද නුඹ...? ????ᴴ ᴬ ᵀ ᴴ ᵁ????️
චතුරංගි හර්ශිකා 4 years ago 657 8 4
මටත් නිතර නිතරම හිතුනා අහඹු හමුවීම් හරි කෙටියි කියලා අදත් ඊයෙත් හිතා උන්නා දැන් දැන්ම නවතීවි කියලා... හදක් පුරවා සුසුම් ගංගා ඉවුරු බිඳ පිට නොවී තියලා හිතින් විතරක් හෙමින් හඬලා මමත් පිටමං වෙන්න හිතුවා... හදිස්සියෙ මග හැරී යද්දිත් නවත්වන්නට හේතු කියලා මටත් නෑ තිබුණේම හයියක් ඉඳින් එක මොහොතකට කියලා... සහස් ගව් දුර ඈත එපිටින් රහස් හැංගූ හීන ලියලා පහන් සඳ පායනා ගගනත සිහින් ස්වරයෙන් ගීත ගයලා... ඉතින් අත් මග හැරුණු තැන්වල මතක සැමරුම් ඉතිරි කරලා යන්න මං හිත හදාගත්තා ඇත්තටම... ඔයා කිව්වා වගේම, මං තවම පුංචි හින්දා...
චතුරංගි හර්ශිකා 4 years ago 959 5 5
හීන මියැදුනු දෑස් කෙළවර එකදු කඳුලක් නොරැඳුනාවේ මුළු හිතින් මතකයට තුරුළුව මම ම විතරක් ලතැවුණාවේ යළිත් හමු නොවෙනා මුවින් මුව තවත් කවි පද නොගැයුනාවේ ඉතින් අවසන් පෙම් කවිය නුඹ හිතේ විතරක් නැවතුනාවේ සසරෙ හමුවෙන අනෙක නිල් ඇස් අතර මැද නුඹ නොපෙනුනාවේ කතර සිප ගෙන වහින වැස්සක කටුක රෑ මම තනිවුනාවේ පුරා නයනත සිනා පොකුරක් වෙන හදක නුඹ පැටලුනාවේ අපිට අපි හිමි නොවෙන හීනෙන් හෙට උදේ මම ඇහැරුණාවේ -චතූ
චතුරංගි හර්ශිකා 4 years ago 615 2 4
නෙතින් නෙත ගැටෙනා දසුන් රැළි හිතින් හිත යා කරපු තරමක්... ඉඳින් නුඹ මා හදින් පෙම් බැඳි තෙලි තුඩග විය සුවඳ අඳුනක්... නිතින් දෑසේ මතුව දිලිසුණු වෛවර්ණ ජීවිතේ කවියක්... ඉතින් අදහනු නොහැකි සුන්දර නුඹෙ සෙවනෙ විය සඳුන් සුවඳක්... -චතූ ✍️
චතුරංගි හර්ශිකා 4 years ago 567 1 2
සීත තිමිරය තුනී වෙන තුරු හීන් උණුහුම වෙලා රැඳුණු ගීතිකාවක් තරම් සුන්දර අතීතය මතකයක් තියුණු හාදකම් ඇතිවෙලා බැඳුනට ආයෙමත් නොදැනීම ලිහුනු වාරකන් කාලයක් ආවම පහසු නෑ එක්වෙලා නිවෙනු... තාල නැති කවි පේලි අතරේ හදිස්සියෙ පැටලිලා වැටුණු දැවී අලුවී නිවී යද්දිත් මුනි වතින් දින ගෙවා දැමුනු අත් හැරෙන්නට නොදී අල්වා පපුවටම ගුලි කරන් හැඬුණු සෙනෙහෙවන්තම තරුත් තිබුණා අහස අතහැර කඩා වැටුණු... චතූ ✍️
චතුරංගි හර්ශිකා 4 years ago 587 12 9
වැටුණු - අසෙනිය මහා වැස්සක තෙත වැදී හදවත පිරී... දැනුණු - තැන්වල තිබුණු ලස්සන සොඳුරු පන්හිඳ වෙත හැරී...!! දරුණු - ගිම්හානයක් අවසන නිලන කෙම්බිම මත එරී... මැරුණු - ගස්වල මුදුන් අතුවල පිපෙන මල් සඟවනු බැරී...!! චතූ ✍️
චතුරංගි හර්ශිකා 4 years ago 632 4 2
සැඳෑ අහසට අඳුර අරගෙන හදිස්සියෙ ඉර මුවා උනහම අමාවක හිස් අහස මැද්දේ සඳේ සේයාවකුත් නොවුනම හදිස්සියකින් කඩා වැටෙනා තාරුකාවක් දෙකක් දැක්කම අදත් ගැස්සෙන හිතක් ඇත මට රිදුම් දෙන මතකයක් එක්කම... රතුම රතු දිග වලාකුළු ඇති හවස අහසක් පුරා පැතිරුන දුකම දුක නිශ්චලම දවසක හුදෙකලා හිත පුරා නැවතුන අනවසරයෙන් හිතට ගොඩ වී හිතේ ගැඹුරුම තැන් හොයාගෙන කඩා වැටෙනා තරුවක්ද නුඹ එකම කවියක් ලියා මියැදුන... දුරුත්තේ හීතලම හවසක අහසෙ රහසේ පාවෙලා එන රිදුම් සීරුම් කඳුලු එක්කම මතක හසරැල් නිවා දල්වන මැකුණු පා සටහන් පිරුණු බිම අපේ මතකය සොයාගෙන යන බිඳෙන බව දැන බැඳුනු තැන්වල තිබුණේම හරි අමුතු ලස්සන... චතූ
චතුරංගි හර්ශිකා 4 years ago 505 4 1
නෙතු නොදුටු නමුත් අපි දුරක වුනත් එක රිදී සඳක් පායලා හිතේ කොහෙ කොතැන වුනත් සඳ කාගෙ වුනත් හිත් අහසම සඳ වෙත බඳියි සෙනේ... මහ කඳුහෙල් සිප හිරු රැස් වැටුණත් හිරු නතර වුනේ නැහැ ගිරි අරණේ කිම තැවෙනු ඉතින් යා යුතුය දුරක් හසරැල්ලෙන් වෙන්වෙමු නුදුරු මහේ... චතූ ✍️
චතුරංගි හර්ශිකා 4 years ago 485 5 3
නුරා ඇස් දෙක පුරා ගම් බිම් තුරුණු රූමතියන් ම සෙව්වා සදාකාලික ප්‍රේමයක් නම් ඉතින් උන් ලැබුවේ ම නැතුවා රිදී සඳවත බහිද්දී මෙන් නැගෙද්දිත් නෙත කඳුළු නැගුවා අරා ගගනත මහා සීගිරි පවුර ඒ සුසුමන් හැංගුවා... ගෑනු ලෝභ ම ආදරේටයි එදා අද වෙනසක් ම නැතුවා නෙත ගැටෙන හැම ළඳකටම ගිරි කසුප් ළඟ ආදරේ ඇතුවා හිතේ ගැඹුරෙම තියාගෙන රැකි ප්‍රේමයක් ඔහු සතුව නැතුවා පුරා නිල් ඇස් මහා වැහි බිඳු දරාගෙන දිගැසියන් හැඬුවා... සෙනේ ගම්බිම් නෑ පරපුරක් දකින්නට යළි පිනක් නැතුවා ගිරි දුර්ග වන දුර්ග ජල මහ පවුරු අතරේ හිනා හෙව්වා බලා තුනු සිරි නුරා විඳ විඳ උරා බී යෞවනය ඉඳුරා සලෙලු මහරජ උන්ගෙ විළි බිය ඉනික්බිති මහ ගලේ කෙටුවා... මහා මේකුළු පවා රහසින් අප්සරාවන් නමින් තැවුනා මහාමේරුව සේ දරාගෙන සිතුවමේ මුව සිනා නැගුවා මලානික වසරක්ම අවසන හෙණ ගගහ මහ වැස්ස වැටුණා අදත් වැහි බිඳු බිතු ළඳුන්ගේ තෙත කඳුළු කම්මුල් හැංගුවා... චතූ ✍️
චතුරංගි හර්ශිකා 4 years ago 569 5 2
දුරුත්තේ හීතලට හැඟුම් කැටි ගැහෙද්දී ඇසළ මහ පිණි පොකුරු හිතට ගොඩ වැදෙද්දී වැහි හුළං හීතලට හැඟුම් පොදි බඳිද්දී නිශාවට වැටෙන පිණි කඳුල ඇය මුවැත්තී සීරෙනා පෑරෙනා හිතම ගිනි ගනිද්දී නැගෙන ගිනි දැල් පපුව අවුළුවා තබද්දී හීනයෙන් හීනයට නුඹව සිහි ගැනෙද්දී මටද මා අහිමි විය ප්‍රේමයක් දැනෙද්දී වසන්තය නිමවෙන්න පෙර දෑස හමුවෙන්න දිගු නොනිදි රෑ ගණන් එපා ආයෙත් එන්න ප්‍රේමයේ පිපාසය සිඳුවමින් සනසන්න පෙම්වතී වැස්සක්ව හද මලට බරවෙන්න චතූ ✍️
චතුරංගි හර්ශිකා 4 years ago 538 4 2
සිහින් සරයෙන් මහද උයනේ පිපී හිනැහෙන එකම කුසුමක සුවඳ සොයමින් කල්ප කල් මම බලා උන්නා තනිව තනිමග නුහුරු නුපුරුදු දෙනෙත් අද්දර මගේ හිත සදහටම මත් කළ නුඹේ තරු ඇස් තුළම කිමිදී මියෙන්නට වත් වරම් නැතිවද... නිවුනු හැඩ රුව නිහඬ නුඹෙ වත මගේ හිත මත සිතුවමක් විය කුළුදුල්ම ප්‍රේමයේ පිණි පොද නිශාවට කඳුලැලි ගඟක් විය දෙපා අද්දර වැටී ඉල්ලා සිටිනු නොහැකිව නිතර ලතැවෙන ප්‍රේමයේ පුජාසනය මත මිය යයිද මගෙ හීන පෙම් පත...? කල්ප කල් දුර ගෙවා පැමිණෙමි මියෙන තුරු ප්‍රේමය සොයාගෙන වසන්තය එන තුරා කතරට කඳුළු වැහි බිඳු හෙලමි තව තව ජීවිතේ ලස්සනම මොහොතක කවිකාර හදවතම මත් කළ සොඳුර නුඹ වෙත බැඳී ඉන්නම් අනෙක දුක් කම්කටොලු අභිමුව... පාළු සීතල අමාවක රෑ හිත කියන කවි නුඹ අසාවිද නුඹෙන් තොර වූ ලොවක් නැති මේ හිතේ ලතැවුල් නුඹ දනීවිද හීන ඇහිඳින දෑස් අද්දර නැගෙන කඳුලැලි නුඹ පිසීවිද තනි හිතක රැඳි මගේ ප්‍රේමය කිකල කවදා නුඹ දකීවිද...? චතූ ✍️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps