1,804 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 5 years ago 251 2 2

Nisadas Image

පොතකින් බිදක්

(පොත් හෙර)

ඊයේ මැදියමේ මගෙ හදවත
රැදුන...
මගෙ නෙත් නින්ද උදුරාගෙන හිත
නිවන...
රසවත් පොතක පිටු කිහිපයකින්
දැන්ම...
මගෙ කවි පොතට කීමට ඇති තතු බොහොම...

හිට්ලර් දරුණු නායකයෙකි ශාප ලැබූ
ඔහුගේ රුදුරු සැඩ පාලනයට මැදි වූ
එරටම වැසියන් පවා හරි දුක් විඳි අයුරු
උන්ගේ මතක සටහන් තුළ ඇත කදුළු...

පොත් හෙර ඈ නමින් ලීසෙල් වූ දැරිය
හදවත මිදෙන හීතල හිම ඇති රැයක
තම සොහොයුරා නෙත් ළග මියැදුනු අයුර
දැකගත්තාය අසරණකම තුළ ගුලිව...

ඒ හිම පොලොව තුළ හීතල හිම කැටියේ
වර්නර් මිහිදන් කලේ උන් හිතකින්ද
රැයේ
තම පුතු හැර දමා යන්නට හිතන පැයේ
අසරණ මවගෙ මුව මත වේදනා පෙනේ...

වර්නර් ඔවුන් හැරදා දුර ගිය
දිනයේ...
ලීසෙල් එදා පළවෙනි පොත ළග
හුන්නේ...
සොහොන් පල්ලන්ගෙ අත්පොත හොර රහසේ...
දැරියගෙ ගැහෙන සීතල දෑතේ
රැදුනේ...

කැපකරු යුවල ළග ඇය නවතා දිනෙක...
ඇගෙ මව යන්න ගිය දා යළි නේන්නට...
හාන්ස් හරි පුදුම මිනිසා ඒ ගෙදර...
මිතුරෙක් පියෙක් වූවා පොඩි ළදැරියට...

කාලය ගෙවී හිට්ලර් බිලිගත් බොහොම...
හිතවත් හිත් ගොඩක් අහිමිව ගිය කලට...
නොනවත්වාම පොත් හොරකම්
කළ ඇයට...
නරකක් කලේ නෑ දෛවය නපුරු වුව...

- චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 248 2 2

Nisadas Image

ප්‍රේමය

සද රැයක මැද මිදුලෙ
වාඩි වී උන්නාම...
උළු යටින් හොර හොරෙන්
සද එන්න ගත්තාම...

මගෙ අඩන ඇස්වලට
ඒ එළිය වැටුණාම...
බොද කදුළු වත පුරා
හැකි වේවි දැකගන්න...

මම දන්නවා නුඹට
ඕන නෑ නවතින්න...
ළංවුණේ හිතින් නම්
නොහැක මේ ලෙස යන්න...

නුඹ ගියත් නැතත් මම
යා යුතුයි මගෙ ගමන...
එ් නිසා අවැසි නම්
තව නොඉද හැර යන්න...

දස්කොන්ට හැකි වුණත්
ප්‍රමිලාට පෙම දෙන්න...
ඒ ආදරේ නිසා
ජීවිතේ බිලි දෙන්න...

ඒ තරම් පෙම් කරපු
කන්නගී හැර යන්න...
කෝවලන්ටත් හැකියි
ආදරේ රවටන්න...

නුඹට මට මොන පෙමද
තවත් නොරැදී යන්න...
පෙම් පුරාවත් තිබුණෙ
පොත් වලයි හැමදාම...

භව්‍ය ලොව තවම නැහැ
සැබෑ පෙම දැකගන්න
ප්‍රේමයත් විහිළුවක්
ඉතින් දුක නැහැ ඔන්න...

චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 263 3 4

Nisadas Image

ගිම්හානයේ කවියා

රළු ග්‍රීස්මේ දිනෙක
මම රැදෙන මේ මොහොත...
හිරු දවන රත් අහස
ගෙනෙයි ගිනියම් සුළග...

තල් අරඹ මැදින් එන
නේක විධ වූ නාද...
ඇතිකලේ වෙනකව්ද
දෙමලිච්චො නුඹ මිසක...

කෑම සොයලා ඇදෙන
ලේන් පැටියෙක් වරෙක...
රළු පොලොව මත වැටී
බලා සිටියා මදෙස...

මොහොතකින් සිහි එලව
ගත් නිසා ඌ හනික...
උසම උස අත්තකට
දිව ගියා ඒ විගස...

ආකහේ වලාකුළු
එකක්වත් නැතුවාට...
හවහාට වහින්නට
බැරි කමක් නෑ මෙහෙට...

ගිනියමට ගිනිගන්න
තණ පදුරු තෙත් වෙන්න...
වැහි පොදක් ආවොතින්
මනාපයි අද හවස...

ඉරිඟු යායට උඩින්
කපුටු රෑනක් හෙමින්...
පියාඹාගෙන ගියා
ඊසාන දිශාවට...

ලතෙත් දිය ඇලි ගලන
කදුකරයෙ හීතලට...
උනුත් ළගදීම යයි
හැර දමා මේ හුළග...

මම උපන් මගේ ගම
හැර දමා කොහි යම්ද...
මෙයයි මගෙ උරුම ලොව
මගේ විජිතය තැනුන...

මෙහිම ඉපදී දිනෙක
මේ බිමේ මගෙ සොහොන...
ඉදිවේවි එයයි මගෙ
දෛවයේ උරුමකම...

මේ ග්‍රීස්මේ තුළම
මේ වියළි පදුරු තුළ...
අනුන් නොදකින සිසිල
මගෙ නෙතට දකිනු හැක...

මමයි කවියා කටුක
ගිනියමට පෙම් බදින...
මගේ කවි හිත පුරා
ඇත සෙනෙහෙ දිය නිතර...

- චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 286 3 3

Nisadas Image

මගෙ ළමා විය

අද හවස අහම්බෙන්
මගෙ නෙතට මුණ ගැහුන
සොඳුරු දසුනක් නිසා
හිත අතීතෙට ගියා...

පොඩි එවුන් රංචුවක්
සරුංගල් හදාගෙන
හිනා සයුරක් මැදින්
දුර ඈත දිව ගියා...

මං පුංචි අවදියේ
මගෙ පුංචි ගම පුරා
පුංචි උන් එකතු වී
හැමදාම හිනැහුනා...

නිකිණි මහ ග්‍රීස්මේ
ඉර තදට ඇදුනු දා
හැන්දෑව පුරාවට
වෙල් දෙණියෙ දිව ගියා...

ගමේ ඇළ පාර මැද
පුංචිඋන් එකතු වී
කෙහෙල් කොට පාරුවේ
ඉහල පහලට ගියා...

වැහි දාට කඩදාසි
ඔරු අරන් මිදුල මැද
පුංචි මුහුදේ අපිත්
කපිතාන්ලා උනා...

කෝටු හිටවපු පුංචි
සෙල්ලම් ගෙදර ඇතුලෙ
ටීචලා අම්මලා
පුංචි උන්මයි එදා...

ලදු දෙණියෙ ගස් අතරෙ
කොස් කොළ ඔටුනු පැළද
අපි අපේ හීන ලොව
මොහොතකට රජ වුණා...

මහ වීර සටන් මැද
ජය ලබන විරුවාට
මාලිගාවේ ම තනි
අයිතියත් හිමි වුණා...

තවත් දිනයක ලන්දෙ
කටු පදුරු මැද්දෑවෙ
හොර කල්ලියක මමත්
නායක හොරෙක් වුණා...

ගං දෙවැටෙ ගඩාගෙඩි
අපෙ පුංචි ඇස් වලට
කොයිතරම් හැංගුනත්
හංගන්න බැරි වුණා...

ඒ තරම් නිදහසක්
අපි අපේ හිත් ඇතුලෙ
තුරුළු කරගත් එදා
අද පවා සිහිවුනා...

මගෙ ළමා කාලයට
ආයෙමත් දිව යන්න
මගේ හිත අදත් මගෙ
හදවතට බල කලා...

- චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 254 3 4

Nisadas Image

දවසේ සටහන

2020 අගෝස්තු මස 15 වැනිදා
ප.ව. 06.35

කියන්නට බොහෝ දේ
මා සතුව ඇත අදත්...
මගේ දිනපොත නුඹයි
මගේ දුක සැප අසන්...
නිසදැසින් කවි වලින්
බොහෝ දෑ මම ලියත්...
නුඹේ මුව මත ලියා
මම නිදහසක් සොයම්...

ඉතින් මාගේ සබද
අද ගොඩක් දිග දිනක්...
හිරු පෙරඹරින් ඇවිත්
දවාලයි මිහි කතත්...
උදෑසන ගේ ගාව
ලන්ද මැද්දේ හුගක්...
කුරුළු කිරිලියො ඇවිත්
ගීත ගැයුවා පැයක්...

හිරු මුදුන් යාමයේ
හරි ග්‍රීස්මය වුණත්...
දුර අහසෙ වලාකුළු
දෙකක් තිබුණා තවත්...
මම ඉතින් හැමදාම
වගේ මගෙ පොත් ගොඩත්...
පින්සලය පැන්සලය
සමග ගෙව්වා දිනක්...

හැන්දෑව ගෙන ඇවිත්
අවරඹර රතු කරන්...
හිරු ඉතින් බැස යන්න
සැරසුණා ආයෙමත්...
සදු අහසෙ නැගෙන්නට
තව තිබේ පැය දෙකක්...
රැය වඩින තුරු ඉතින්
බලා ඉමු අපි තවත්...

- චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 370 3 4

Nisadas Image

රෑ අහසේ තරු සාදය

ගන කලුවරට නෙත් අඳ වෙන රෑ යාමේ
කඩුපුල් මලට පිණි බිඳු දෙන ගිම්හානේ
හරි සීතලට හිත ළග නැවතුණ හීනේ
මගෙ කවි මනස රෑ ගගනත රැදුනානේ...

සදවත අහස මැද්දේ කරලියට වැදී
මේ රෑ රංගනය කෙරුමට දෝ සැරසී
ආසිරි පතන ගගනත නිල් වලා රැලී
සදවත වටා තාලයකට පියාඹතී...

තරු කැල නේක විසිතුරු සිතුවම් මවතී
සදවත ඊට ආලෝකය බෙදයි නිතී
රැගුමට යුගල නැටුමක් රෑ මලක් රිසී
වවුලෙක් පෙම්වතිය සමගින් එයි සැරසී...

කනාමැදිරියෝ රෑනක් පේලි සැදී
ගගනත වේදිකාවට දැන් කඩා වැදී
සමූහ නර්තනයක හැඩ ගෙනා නිසී
තරු වැල් පවා පුදුමෙන් මෙන් බලා වුණී...

මදනළ වලාකුළු සමගින් එකට බැඳී
කළු පටසළුව ගගනත මැද්දේ එලතී
සිනමා හලේ කළුවර මැද එළිය දිදී
සදවත පහන ඒ මැද්දේ සිනාසුණී...

ජය ගෝසා දෙන්නට උඩ බලා නිතී
ලන්දේ වෙලේ ගෙඹි රෑනක් රැදී වුනී
තරු රංගනය කරනා මොහොතකදි එබී
පලගැටියෝ ගීත නාදය ලබා දුනී...

සංගීතයට ආලෝකය මැදට වෙලා
කලු ගගනතේ දිලිසෙන කහ සළු පටලා
තරු රංගනය ඇරඹිනි ගගනත සරසා
ගෙඹි රැල දුන්න ඔල්වරසන් ඇසෙයි මෙදා...

රෑ අහසේ තරු සාදය ජයට
වුණී
හැමටම කන්න කිරි පැණි නොඅඩුව තිබුණී
බොන්නට පිණි වතුර ගෙනදුනි
වලා රැලී
මේ නම් මගුල් සක්වලකැයි
මට සිතුණී...

- චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 277 3 4

Nisadas Image

මට මතක ගම

ගම මැදින් ගලන ගඟ
හැමදාම හැමදේම
සෝදගෙන ගලාවිත්
ගල් බොරලු හැංගුවා...

දෙවැට අයිනේ පදුරු
වතුසුද්ද මල් වලට
දූවිල්ල නොවැදෙන්න
වතුපාළු පැල වුණා...

හිරු එළිය හරි තදට
මිරිස් පැළ මරනකොට
ගම්මිරිස් වැල් පවා
පුංචි පැළ බේරුවා...

නිල් වතුර අඩන තැන
පුංචි මාළුවො නිතර
මදුරු පැටවුන් පවා
ආදරෙන් සුරැකුවා...

හැමදාම පුරපෝය
සද අහසෙ නැගෙනදා
පේලියට පන්සලට
ගම්මු හවසට ගියා...

කැලෑ අලියට පවා
කරුණාව පාන්නට
හුරු පුරුදු හිත් තිබුණු
අයවලුන් එහි වුණා...

මගෙ ගමේ හැමතැනම
හැම මොහොතකම වගේ
ආදරේ වාගේම
සෙනෙහසත් ඉතුරුවා...

අද වගේ නොවෙයි ඒ
අතීතේ මගේ ගම
තව්තිසාවක සතුට
හිත් ඇතුලෙ දිලිසුනා...

- චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 328 3 4

Nisadas Image

අත්තම්මා

නිහඩ හිත යට
කවියක් ය ඔබ
මගෙ ළදරු ලොව
සුරගනයි ඔබ...

හවස් යාමෙට
ගෙපිල මත හිද
උඹේ උකුලේ
නැලවුණා මම...

ගීත කවි හා
කතන්දර ගැන
නුඹ තරම්
කවුරුත් ම නෑ දැන...

මගෙ අඩන හිත
පවා හෙමිහිට
සිහින විමනට
ගෙන ගියා නුඹ...

කිරි හාමි ගැන
අන්දරේ ගැන
මහා පැරකුම්
රජතුමා ගැන...

මහා කණ්ඩුල
ඇත් රජුන් ගැන
ගැමුණු නම් මහ
රජතුමා ගැන...

මහ රෑට රෑ
අහස සරසන
අපි නොදන්නා
සුරගනන් ගැන...

සිරිත් මල්දම
පුරා කියැවුණ
හොදම හොද ඒ
පොඩි ළමයි ගැන...

අපේ ගම ගැන
අපේ වැව ගැන
පුරාණේ මහ
වීරයන් ගැන...

කටුස්සන් ගැන
කුරුල්ලන් ගැන
අලි ඇතුන් මහ
වන සතුන් ගැන...

ආත්තම්මේ
විශ්වයේ ඇති
බොහෝ දෑ මට
ළං කලා නුඹ...

එදා බාලේ
මගෙ ළදරු හිත
උගත් අරුමැසි
සරසවිය නුඹ...

හිමිවීම හා
අහිමිවීම ද
උගන්වා මට
හැර ගියා නුඹ...

මගේ දෙවගන
මගේ යෙහෙළිය
මගේ මව් තුමියත්
වුණා නුඹ...

මගේ කඩඉම්
සටහනක් ළග
නිසැක පියවර
සටහනක් නුඹ...

ජීවිතේ දෙස
අමුතු ඇසකින්
දකින්නට මා
හුරු කලා නුඹ...

ලෝකයේ හැම
පණ නළකටම
පෙම් කරන්නට
හුරු කළා නුඹ...

නුඹෙ සොහොන මත
පැල කලා මම
නුඹම මට දුන්
පිච්ච මල් ගස...

මගෙ හිතේ රන්
මාලිගාවේ
සදාකාලික
සුරගනයි ඔබ...

- චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 283 3 4

Nisadas Image

නික්ම යාම

නික්ම යාම
(ගිරවෝ නුඹට)

නිතරම දෑස් සෙව්වේ නුඹෙ
මාවම ද...
නිතරම මුවග රැදුනේ මගෙ
නම නොවෙ ද...
නුඹෙ කොල පියාපත්
විහිදා ගගනතට...
යන්නට කිව් වෙලෙත් නොගියේ
ඒ මන්ද...

මගෙ හිත පුරා සෙනෙහස
පුරවා හරින...
හරි හිතවත් නුඹේ ඔය
හුරතල් වචන...
තව ටික දවසකින් මම යමි
දුර යන්න...
ආයෙත් එන්නෙ සති
අන්තේ විතරක්ම...

අනාගතය මට හඩගා රැදෙන
පැයේ...
මා යා යුතුය සරසවියට නිකිණි
මහේ...
මගෙ ගිරවෝ නුඹ හැරදා යන
දිනයේ...
මම මගෙ හදවතින් වෙන්වූ සෙයක් දැනේ...

මට බැහැ නවතින්න මම යා
යුතුව ඇත...
සරසවි හීනයේ කිමිදිය
යුතුයි හෙට...
නුඹ සහ මතක කරපින්නා
ඒ ලොවට...
හෙට මම යා යුතුව ඇත
එහි නවතින්ට...

ගිරවෝ නුඹට පාළුව හෙම
දැනුනාට...
නොහඩා ඉවසපන් සති අග වෙන තෙක්ම...
සති අන්තේ හනික මම
එනවා ගෙදර...
නුඹෙ කොල පියාපත්
අතගා සනසන්ට...

වෙනදා වගෙම මගෙ නම
මුමුණා හවස...
මග බලමින් ඉදපන් මම එන
තුරුම...
හිතවත් මගේ මිතුරෝ නුඹගේ
වචන...
මට බලකරනවා නොගිහින් නැවතෙන්න...

හිත රිදවා ගෙන දුක් වී
වැලපෙන්ට...
මට හිතුනත් යා යුතුමයි මම
එහෙට...
මම එන දාට උඹ හට රසකර
කන්ට...
පලතුරු ගොඩක් ගෙන එන්නම් හැමදාම...

චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps