1,804 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 4 years ago 603 4 2

Nisadas Image

❤️

සැඳෑ අහසට අඳුර අරගෙන හදිස්සියෙ ඉර මුවා උනහම
අමාවක හිස් අහස මැද්දේ සඳේ සේයාවකුත් නොවුනම
හදිස්සියකින් කඩා වැටෙනා තාරුකාවක් දෙකක් දැක්කම
අදත් ගැස්සෙන හිතක් ඇත මට රිදුම් දෙන මතකයක් එක්කම...

රතුම රතු දිග වලාකුළු ඇති හවස අහසක් පුරා පැතිරුන
දුකම දුක නිශ්චලම දවසක හුදෙකලා හිත පුරා නැවතුන
අනවසරයෙන් හිතට ගොඩ වී හිතේ ගැඹුරුම තැන් හොයාගෙන
කඩා වැටෙනා තරුවක්ද නුඹ එකම කවියක් ලියා මියැදුන...

දුරුත්තේ හීතලම හවසක අහසෙ රහසේ පාවෙලා එන
රිදුම් සීරුම් කඳුලු එක්කම මතක හසරැල් නිවා දල්වන
මැකුණු පා සටහන් පිරුණු බිම අපේ මතකය සොයාගෙන යන
බිඳෙන බව දැන බැඳුනු තැන්වල තිබුණේම හරි අමුතු ලස්සන...

චතූ

චතුරංගි හර්ශිකා 4 years ago 459 5 3

Nisadas Image

අප්සරාවන්ගේ කඳුළු

නුරා ඇස් දෙක පුරා ගම් බිම් තුරුණු රූමතියන් ම සෙව්වා
සදාකාලික ප්‍රේමයක් නම් ඉතින් උන් ලැබුවේ ම නැතුවා
රිදී සඳවත බහිද්දී මෙන් නැගෙද්දිත් නෙත කඳුළු නැගුවා
අරා ගගනත මහා සීගිරි පවුර ඒ සුසුමන් හැංගුවා...

ගෑනු ලෝභ ම ආදරේටයි එදා අද වෙනසක් ම නැතුවා
නෙත ගැටෙන හැම ළඳකටම ගිරි කසුප් ළඟ ආදරේ ඇතුවා
හිතේ ගැඹුරෙම තියාගෙන රැකි ප්‍රේමයක් ඔහු සතුව නැතුවා
පුරා නිල් ඇස් මහා වැහි බිඳු දරාගෙන දිගැසියන් හැඬුවා...

සෙනේ ගම්බිම් නෑ පරපුරක් දකින්නට යළි පිනක් නැතුවා
ගිරි දුර්ග වන දුර්ග ජල මහ පවුරු අතරේ හිනා හෙව්වා
බලා තුනු සිරි නුරා විඳ විඳ උරා බී යෞවනය ඉඳුරා
සලෙලු මහරජ උන්ගෙ විළි බිය ඉනික්බිති මහ ගලේ කෙටුවා...

මහා මේකුළු පවා රහසින් අප්සරාවන් නමින් තැවුනා
මහාමේරුව සේ දරාගෙන සිතුවමේ මුව සිනා නැගුවා
මලානික වසරක්ම අවසන හෙණ ගගහ මහ වැස්ස වැටුණා
අදත් වැහි බිඳු බිතු ළඳුන්ගේ තෙත කඳුළු කම්මුල් හැංගුවා...


චතූ ✍️

සමාධි... 4 years ago 373 1 2

Nisadas Image

වීමි කිවිඳියක....

සසර පිනකට
වීමි කිවිඳියක....

කවි කරන්නට සිතිවිලි
කවි කරන්නට හැඟීම්
උත්ප්‍රාස අනුප්‍රාස ද ගළපා
අතරින් පතර රස පදද හංගා;

සසර පිනකට
වීමි කිවිඳියක....

පිසින්නට කඳුලැලි
තවකෙකුගේ,
බෙදාගන්නට අත්දැකීම්
මගේ,
අරුත්බර ලෙස පබඳා,
රැකගනිමින් සංයමයද,

ජී.බී.සේනානායකයන් මෙන්
ආධ්‍යාත්මික ප්‍රේමය ඉස්මතුකරන්නටත්,
රත්න ශ්‍රී යන් මෙන්
ගැඹුරු අදහස් සොඳුරු කරන්නටත්,

සසර පිනකට
වීමි කිවිඳියක....

දැනෙන විට
තනිකමක්
දැනෙන විට
ප්‍රේමයක්
නැගෙන විට
මදහසක්

සිත්තම් කරන්නම් මා මනස
සිතා ගත නොහැකි පිටු ගණනක් පුරා
මෙලෙස ,,,,

කඳුල , සුසුම, ප්‍රේමය, තනිකම, සතුට
කැටි කොට රුවා
හඬන්නට හෝ සිනාසෙන්නට,
ආදර පන්හිඳට....

සමාධි ✒

සමාධි... 4 years ago 321 3 1

Nisadas Image

දුරස් වූ ගුරු මව්නි....,

සැඩ නළ , දළ රළ මැදින්
පොරබදමින් දඟලන විට ,
අල්ලාගන්නට එක පං ගසක්
පං ගසත් නුඹම විය ,
සවි ඇති මහා යදණ්ඩක මෙන්

ගණඳුරේ,වරුසාවේ සොයන විට නවාතැනක්,
මහ සයුරු මැද
පුංචි තිතක් බඳුවත් ආලෝකය ගොඩබිම දෙසින්
දැල්වුවා මහා බලාපොරොත්තු,අනාගතය ගැන!
කෙලෙස කෙතරම් දුරස් වූවත්
එම එළිය,
කිසිදා අමතක නොවේවි,මියෙන තුරු ම!!!

මවකගේ සෙනෙහස ,
පියෙකුගේ රැකවරණය ,
සොයුරියකගේ තමන්ගෙකම ,
යෙහෙළියකගේ විශ්වසනීයත්වය,
ගුරුවරියකගේ දයාබරත්වය ,

එලෙසින්ම !

ඔබට හැර තවකෙකුට දිය හැකිද?

වසර හයකට පෙරාතුව
පහ E පන්තියේ , මල් පිපෙන වේවැල
තවමත් ඇත හද පතුලේ ම
කිසි දා අමතක නොවන ලෙස-

පුරා වසර දෙකක්
ඔබ,
අප වෙනුවෙන් ම කැපවුණු බව
නොසඟවා පවසන්නම් සෑම තැනකම-
ආදර ගුරුතුමිය ඔබයි !
අප සැමගේ-
සදා නොමියෙන !! හදවතෙහි -

එහෙත් අද මම,
කෙලෙසක කව් කරන්න ද? ,
මහමෙරක් තරම් වූ ඔබේ ගුණ කඳ !
අම්මේ...........
දැනටමත් ඉවර වී ගොස් ය
මගෙ පන්හිඳ. . . .

සමාධි????

චතුරංගි හර්ශිකා 4 years ago 513 4 2

Nisadas Image

ප්‍රබන්ධයක්


සිහින් සරයෙන් මහද උයනේ පිපී හිනැහෙන එකම කුසුමක
සුවඳ සොයමින් කල්ප කල් මම බලා උන්නා තනිව තනිමග
නුහුරු නුපුරුදු දෙනෙත් අද්දර මගේ හිත සදහටම මත් කළ
නුඹේ තරු ඇස් තුළම කිමිදී මියෙන්නට වත් වරම් නැතිවද...

නිවුනු හැඩ රුව නිහඬ නුඹෙ වත මගේ හිත මත සිතුවමක් විය
කුළුදුල්ම ප්‍රේමයේ පිණි පොද නිශාවට කඳුලැලි ගඟක් විය
දෙපා අද්දර වැටී ඉල්ලා සිටිනු නොහැකිව නිතර ලතැවෙන
ප්‍රේමයේ පුජාසනය මත මිය යයිද මගෙ හීන පෙම් පත...?

කල්ප කල් දුර ගෙවා පැමිණෙමි මියෙන තුරු ප්‍රේමය සොයාගෙන
වසන්තය එන තුරා කතරට කඳුළු වැහි බිඳු හෙලමි තව තව
ජීවිතේ ලස්සනම මොහොතක කවිකාර හදවතම මත් කළ
සොඳුර නුඹ වෙත බැඳී ඉන්නම් අනෙක දුක් කම්කටොලු අභිමුව...

පාළු සීතල අමාවක රෑ හිත කියන කවි නුඹ අසාවිද
නුඹෙන් තොර වූ ලොවක් නැති මේ හිතේ ලතැවුල් නුඹ දනීවිද
හීන ඇහිඳින දෑස් අද්දර නැගෙන කඳුලැලි නුඹ පිසීවිද
තනි හිතක රැඳි මගේ ප්‍රේමය කිකල කවදා නුඹ දකීවිද...?

චතූ ✍️







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps