1,804 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 5 years ago 293 4 4

Nisadas Image

ඊළගට

මම කතා කරනවා ආයෙමත් මගෙ හිතත් එක්ක. මම හිතට කිව්වා. හරි දැන් ඔක්කොම හරි. ඔයාගෙ හීනෙට තව පුංචි දුරයි තියෙන්නේ... ඒත්...හිත කියනවා, නෑ...මේක නෙවෙයි ලෝකෙ. ඔයා පාඩම් කරා. ඉගෙන ගත්තා. දැන් ඔයාගෙ අනාගතේ ස්ථිරයි. ඒත් ඔයා තේරුම් ගත්තද... ජීවිතේ කියන්නේ මේ තරගෙ අස්සෙ දුවගෙන දුවගෙන යන එකටද?

මම කියනවා: ඒත් මම මේක නොකරත්, බලහත්කාරයෙන් මගෙ දෙමව්පියෝ මේ පාරෙ මාව යවනවා.

ඔව්. ඒක ඇත්ත.ජීවිතේ ගොඩක් දේවල් ඔයාට අහිමි වෙලා. ඔයා ඔය කවි පුරාවට ලස්සන ගංගාවල්, ලස්සන ඉරක්, ලස්සන මල් ගැන ලිව්වට, ඔයාට තිබුණද ඒ ඉරක් මලක් ගගක් දිහා බලන්නවත් වෙලාවක්? හිත මගෙන් අහනවා.

ඔව්. මම පිළිගන්නවා. මම දිනලා නෑ. මම මා තුළම පරාජිත බවක් මට දැනෙනවා. මම හොයනවා. මට වැරදුන තැන. මම හොයනවා. ළදරු හීන මගෙන් මගෑරුණු තැන.

මම ජීවත් වෙනවා. ඒත් මම දැන් තෘප්තිමත් මනුස්සයෙක් ද කියලා කවුරුහරි මගෙන් ඇහුවොත් මට කියන්න තියෙන්නේ. මගෙ අනාගතේ ස්ථාවරයි. මට ජීවිතේ ගැන බය වෙන්න දෙයක් නෑ. ඒත් මම මේ ජීවිතේ ගැන මේ දිනුම හොයාගෙන යන තරගෙ ගැන කලකිරිලා. මට මේ කිසිම දෙයක් ගැන ලෝභකමක් ආසාවක් ඇල්මක් නෑ.

ඊළගට...

චතුරංගි හර්ශිකා 5 years ago 243 4 4

Nisadas Image

ඊළගට...

ඊළගට මම සතුටු විය යුතු වේලාව! ඒත්...මගෙ හිත...මම දන්නෙ නෑ ඒකට මොනවද වෙලා තියෙන්නේ කියලා... පොත්, සටහන්, පෑන්, පැන්සල්, අකුරු, පාට, ප්‍රශ්න පත්‍ර මේ සියල්ලෙන් එපිට ලෝකයක් තිබිලා.

ඒ ලෝකෙ ළමයි උදේට දහයට එකොළහට ඇහැරිලා... නිවාඩු කාලෙට පුරන් කුඹුරු යායවල්වල සරුංගල් අරගෙන දුවලා, වෙල පහළ දෙණිය ළග පුංචි ඇළේ එකා පිට එකා වැටිලා නාලා... හෙම්බිරිස්සාව හැදිලා හොටු දත් දෙකක් වගේ නහයෙන් එනකොට පවා කැලේ පුරාවට මා දං හොයන්න දුවලා... කෙසෙල් කොළ හෙවිල්ලපු සෙල්ලම් ගෙවල්වල ලස්සන පොඩි මුට්ටි වල සෙල්ලම් බත් උයලා...දෙවියනේ...

මේ කොහේ තිබුණ ලෝකෙද...

මම අගහරු වලින් පාත් වුණ එකෙක්ද? මේ ගෙවුණු කාලෙ ඇතුළෙ මගෙ ළමා කාලෙම දියවෙලා. මට පුළුවන් සෙල්ලම් බත් උයන්න. කොස් කොළ ඔටුනු දාගෙන රජ වෙන්න. ඒත් දැන් මම ඒකට ලොකු වැඩියි. ඇත්තටම හිසට ඔටුනු හොයන්න ගිය ගමනේ පුංචි උන් දැකපු හිනාව මට අහිමි වෙලා. ඒ හිනාව ඇතුලෙ උන්ගෙ බැදීම් මගෙන් ඈත් වෙලා. මම මේ ලෝකෙට ආගන්තුකයෙක් වෙලා...
මට සතුටක් නෑ. ඔක්කොම සාර්ථක විදිහට අවසන් වෙලා.

ඒත් මම... හුදෙකලා වෙලා...මම ලස්සන හීන දැකපු ලෝකෙන් එපිට තිබුණු දේදුනු පාට සුරංගනා කතා මට මගහැරිලා...

චතුරංගි හර්ශිකා 5 years ago 247 5 4

Nisadas Image

ඔව්, ඊළගට...

මම මගෙ උපරිමය කරා. මම සාමාන්‍ය පෙළ ඉහලින්ම සමත් වුණා කියලා ප්‍රතිඵල සටහන දැක්කට පස්සේ ගොඩක් සතුටු වුණා. හැමෝම. ඒ වගේම මමත් සතුටු වුණා. ඒ මගේ මහන්සිය. මගෙ හීනෙට මම තිබ්බ අඩිය. ඒ මගෙ හිතත් එක්ක මම කියපු කතාවල ප්‍රතිඵලය!
ඔව්...ඊට පස්සේ මට හීන දෙන්න මට බල කරන්න...මට වද කරන්න කවුරුත් ඕනි වුනේ නෑ. මම පැන්සලෙන් අදින හීන මමම පාට වලින් ලස්සනට පාට කරන්න පුරුදු වුණා. ඊළගට ආව උසස් පෙළ විභාගය මම ආසාවෙන් බලාපොරොත්තු වුණ ආදරණීය හීනයක්. මම මගෙ උපරිමය කරා. විෂයන් තුනට A තුනක් නැතුව මම මගේ මූණ දිහා බලන්නෙ කොහොමද. මම මගෙ යටි හිතට පොරොන්දු වුණ ලස්සන හීනවලට පාට හොයන්නෙ කොහොමද...මම මගේ හෘදය සාක්ෂියට බොරු කරන්නෙ කොහොමද...නෑ...මම මගෙ හීන වලට උපරිම පාට හෙව්වා. කැපවීම කියන්නේ මොකක්ද කියලා මම ඉගෙන ගත්තා. මම මං වෙනුවෙන් මහන්සි වුණා.

හරි. අන්තිමට උසස් පෙළ විභාගයෙන් ළමයෙක්ට බලාපොරොත්තු වෙන්න පුළුවන් උපරිමය මම කරා. නිරායාසයෙන්ම කලා විශය ධාරාවෙන් යන්න පුළුවන් ඕනිම විශ්ව විද්‍යාලයක් මං වෙනුවෙන් විවෘත වුණා. ඒක මම දැකපු ලස්සනම හීනයක්... එදාත් හැමෝම සතුටු වුණා...

ඊළගට...

චතුරංගි හර්ශිකා 5 years ago 270 4 4

Nisadas Image

ජීවිතේ ගැන

ඔව්...

ඊළගට සාමාන්‍ය පෙළ විභාගය.
මේ වෙනකොට මමයි මගෙ යටි හිතයි හොඳ යාළුවො.

අපි එකිනෙකාට කතා කරනවා. මම හීන දකින්න පුරුදු වුණා. මම දැකපු, අහපු, කියවපු ගොඩක් දේවල් ඇතුලෙ මම මගෙ අනාගතේ ගැන තීරණය කළා. මම හිතුවා. ඔව් මම සාමාන්‍ය පෙළ පාස් වෙන්න ඕනි. මම උසස් පෙළ කරලා විශ්ව විද්‍යාලයට ගිහින් රජයේ රැකියාවක් කරන්න ඕනි. මම ලස්සන පුංචි ගෙයක් හදන්න ඕනි.

ඒ ගෙදර මටම කියලා සත්තු ඉන්න ඕනි. මට ලස්සන බූල් බල්ලෙක් ඉන්න ඕනි. මට පූසො දහයක් පහලොවක් ඉන්න ඕනි. මම සතුටින් හැමදාම ජීවත් වෙනවා. මම විශ්‍රාම ගියත් මගෙ පෙන්ෂන් එක මාසයක් ගානෙ මගෙ එකවුන්ට් එකට වැටෙනවා. මම නිදහසේ ජීවත් වෙනවා.

මම ලංකාවේ මම ආසා හැම තැනම යනවා. මම පුංචි ලස්සන සුදුපාට කාර් එකක් ගන්නවා. වැහි දවසක ලස්සන පාරක් දිගේ, හීනියට ඇහෙන සින්දුවකුත් එක්ක මගෙ කාර් එකේ මම ආසම තැනකට යනවා...

ඔයවගේ නානාප්‍රකාර හීන මගෙ හිත ඇතුලේ පැන්සලෙන් ඇන්ද මම ඒ හීන වලට පාට පුරවන්න හිතට හයිය ගත්තා. මම සාමාන්‍ය පෙළ ලියන්නෙ, කාගෙවත් ඕනිකමකට නෙවෙයි. මගෙ හීන වලට පාට පුරවන්න. උදේ රෑ දවල් නැතුව මගෙ සාමාන්‍ය පෙළ හීනෙට මම මගෙ උපරිමයෙන් මහන්සි වුණා.

ඊළගට...

චතුරංගි හර්ශිකා 5 years ago 310 4 4

Nisadas Image

ජීවිතේ


ජීවිතේ මොකුත්ම නොදන්න පුංචි ම අවදියේ, ජීවිතේ ගැන ගොඩක් හීන තිබුණා. පළවෙනි හීනෙ පහේ ශිෂ්‍යත්වය. ගෙදරින් දුන්නු පීඩනය, පාසලෙන් දුන්නු පීඩනය, යාළුවො, අහල පහල උදවිය, නෑදෑයො, දෙවියනේ...මේ හැමෝම එකතුවෙලා දුන්න පීඩනේ හැටියට ශිෂ්‍යත්වෙ පාස් වෙන්න නෙවෙයි. මං අංගොඩ ඉන්නයි ඕනි.

පේපර් එකකට ලකුණු අඩු වුණාම, ගේ ඉස්සරහ අඩි පාරේ දණ ගහගෙන හිටපු වාර අනන්තයි. හමුදා නීතිය අකුරටම ගෙදරටත් ක්‍රියාත්මක කරපු අපූරු තාත්තෙක්ගෙ දුවක් වෙච්ච මට පිස්සු නොහැදි ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.

මම ශිෂ්‍යත්ව විභාගය පාස් වුණා. හරි සතුටුයි හැමෝටම. මටත් සතුටු හිතුණා. මේ පොර පිටියෙන් නිදහස් වීම ගැන! කොහොමින් කොහොම හරි ලොකු ඉස්කෝලෙකට යන්න අම්මලගෙ හීනෙට ඔන්න මම එදා පාට ගෑවා. ඒ හැරෙන්න මට මගහැරුණු ළමා විය, මට මගහැරුණු කෝම්පිට්ටු, සෙල්ලම් ගෙවල්, යාළුවො...මම ඒවා ගැන හිතුවේ නෑ. ඇත්තටම මට එහෙම හිතන්න තරම් තේරුමක් තිබුනේ නෑ. කාලෙ ගතවුනා. පොත් පත් අතරෙ, දැඩි විනය නීති අතරෙ තාත්තගෙ හීනවලට පාට ගානවා මිසක් මට මගෙම හීන තිබුණෙම නෑ. ඔහොම ටික ටික දවස් ගෙවුණා...

ඊළග කොටස ඊළගට

Deesha(දීෂා)❤️ 5 years ago 314 6 10

Nisadas Image

_______බොහෝ දිනකට පසු ✍️________

❤️නිසදැස් ලියන, කියවන හැම කෙනෙක්ටම අාසිරි පතමි ?

හිමිව අහිමිව යනෙන දිවියක සැඟෙව්වා කඳුලැලි පවා
සිනහවක් යළි අයිති නොමමුත් හිනැහුණා කවි ගී නිසා
රිදෙව්වේ නෑ මගේ හදවත සැනසුවා නුඹ සෑමදා
කෙටි කලක් මුත් දිවිය ගෙව්වේ නුඹ මාව ජීවත් කළා.....

තෙලිතුඩින් කවි ලියවුණා මගෙ දුකට මෙන් විඳි සතුටටත්
නිරන්තරයෙන් ළඟම රැඳුණා නිසදැසේ සිටි යහළුවන්
දුක සතුට සැනෙකින් දකින්නට සන්වේදි හදවත් දරන්
නේක විධ වූ හැඩ මවයි මෙහි ජීවිතේ දුක් හිර කරන්....

පිසදමා නෙත් වැටුණු කඳුළක් රහසින්ම කිව් වේදනා
පත්තිරුව විය මේ බිමම මට පන්හිඳෙන් ගෙත්තම් වෙනා
කවි කරන්නට නොහැකි නම් සිත මියැදි කවියෙකි අද මෙමා
වදන් ගලපමි බොහෝ දිනකින් කවක් නිම කෙරුමට සිතා....

චතුරංගි හර්ශිකා 5 years ago 243 4 10

Nisadas Image

ලෝකයම දැන් නූතනයේ විශාලා මහනුවරකි.

වසංගතයෙන් එකා පිට එකා මියැදි කල නූතන කිසාවෝ තැන තැන හඩා වැටෙති.

-මා කුමක් පවසම් ද?

ආදරණීය කිසා
මමත් එන්නම්
නොමල ගේකින්
අබ හොයන්නට...

ජීවිතේ නෙක
පැතුම් අතරේ
හීන බොදවී
මියැදිලා ඇත...

එකා දෙන්නා
මියෙන මොහොතක
කලු නිකක් හෝ
හොයන්නට එමි...

නුඹේ දරුවා
අහිමි මොහොතක
මමත් ඒ දුක
බෙදා ගන්නෙමි...

බුදුන් අභියස
හඩා වැටෙමුව
බුදුන් නැති ඒ
බුදු කුටිය තුළ...

බුදුන් පිළිරුව
ළග දණින් හිඳ
පතමු පැතුමක්
අහස විනිවිද...

හඩා වැටෙනෙමු
දම් සරන ළග
අනියතයි ලොව
උපන් අප හැම...

බුදුනි අම නෙත
යොමා ලොව වෙත
දනන් තැන තැන
වැලපෙනා විට...

ලොවම නිවමින්
රෝග පීඩා
නසාලනු මැන
සනසමින් සත...

අහිංසක හිත්
පැතුම් අතරේ
තවරලා දුක
බලා ඉමු තව...

- චතූ✍

චතුරංගි හර්ශිකා 5 years ago 279 4 5

Nisadas Image

ආදර කතා

ශ්රේක්ට ෆියෝනා ආදරේ කළා
රාක්ෂයෙක්ට ආදරේ කරන්න
කුමාරිකාවකට බැරි නෑ කියලා
සුරංගනා ලෝකෙටම ඒත්තු ගැන්නුවා

සදාකාලිකව සුන්දර කුමරියක් වෙන්න
දෛවයෙන් උරුම වුණු අවස්ථාව
රාක්ෂයෙකූගේ ආදරේ ඉස්සරහදි
දෙපාරක් නොහිතා සතුටින් අත්හැරියා

ජීවිතේ හමුවුන හමුවීම් අතරේ
වංචාවක් නැති සරල හිත්වලට
මොන කතාවෙත් අන්තිමට
දෛවය හැබෑ ආදරේ උරුම කළා

රාක්ෂ මුහුණක් පිටු පසින්
ආදරණීය හදවතක් දකින්න
සුරූපී කුමරියකටත්
සංවේදී හැගීම් තිබුණා

ජීවිතේ දකින දෙයට ඇතුලතින්
හැබෑවටම හදවතටම ආදරේ කරපු
බියුටි සහ බීස්ට්ලා
සුරංගනා ලෝකෙ පුරා ම හිටියා

ඒ හැම තැනකදිම
විරූපී මුහුණ පිටුපස
සුරූපී හදවතක්
සිකුරු තරුවක් වගේ දිළිසුණා

ඒකයි වැදගත්ම දේ
දන්නවද හැබෑ ආදරේ ළග
ඇස් දෙකට පේන බාහිර පෙනුම
තුට්ටුවකට මායිම් නොවුණා

සුරංගනා කතාවලට මෙහා ලෝකෙත්
අවංක හදවත් නිරන්තර
සදානන්ද බැදීමකින්
ලස්සනට තදට බැදිලා තිබුණා

හැබෑවටම ආදරේ ගැන
නේක විධ කතාන්දර
අතීතයේ සිටම වර්තමානයට
හැමදාම ලියවෙමින් තිබුණා

මම,
චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps