Ranatunge Jayawardene 2 years ago 254 0 0
ජීවිතෙන් භාගයක් ම මට ඔයාව නොපෙනුනත් හැම කාලෙම මං හරි හරියට එළිය වුනේ ඔයා හන්ද කියල දැනගන්න ඕන ඈයො දන්නවනෙ ඉතින්.. * ඔයා හැමදාම මගේ ජීවිතේ ආලෝකය වෙලා ඔයා ගාව රැඳෙන්න ඉඩ දීල දිගටම අරන් යන බවනම් හොඳටම විශ්වාසයි දැන් මට . * මේ ජීවිතේ තමයි හොඳ ; මං කියන්නේ අපි දෙන්නටම. අමාවකයි පහලොස්වකයි එකම දවස නෙවේ කියලා අපි දෙන්නම දන්නවනෙ දැන්. * අපි මින් එහා ලෝකයක් ගැන හිතන්න නරකයි .. මේ වෙන දේ බලාගෙන දිගටම ඉමු ඔහොම්ම ආදරෙන් ! නේ චන්ද්‍රිකා .. ---------------------------------------------- රනේ/28අගෝ2024/චන්ද්‍රිකා
Ranatunge Jayawardene 2 years ago 287 0 0
පටන්ගන්න හැම දේකම අන්තිම කෙලවරක් තිබුන නම් මුහුද වගේ පැහැදිලි.., මං එයාට කියන්නෑ බෑ කියල, මුලදීම.. ------------------------------------- රනේ/23අගෝ24/අවුල
Ranatunge Jayawardene 2 years ago 222 0 0
හිතේ හයියෙන් මෙලෙක් කර කළු ගලේ සිතුවම් කෙරුන ජීවමාන අප්සරාවිය ඔබ .. දෙනෙත් අඩවන් කර ගෙන බලනු ඇයි සැකයෙන් මා දෙස ? නෙළුම් මල් පෙති ගනිමින් වරදක් වසන් කරනට හේතු හොයනා ළදරුවකු මෙන්. * සත්‍යය සෘජුය කෙලින් පැවසිය නොහැකි මුත් ඒ වසන් කල නොහැකිය.. ලෝකය දැනගත යුතුය එය ඔබටද දැනෙන සේ ටීකා කොට කෙටියෙන් පසෙක දක්වනු රිසියෙම්. * "මා මෙහි ආ ගිය බව ත්, ඔබ බලා මා මත් වී මෙන් මගේ අවසරයක් හෝ නොබලා ඇස් ඔබෙන් ඉල්ලූ දේ ඇසම සොරකම් කල බවත් සිතෙන් ඉල්ලු පහස සිතම උදුරා ගත් බවත් මෙහි ලියා තබමි." * තව ගී ලියන්නට සිත් වුවත් සිත මෙල්ල කරගෙන සඳැස් ගලපනු නොහැකි ව මා සිතද ගල සේ දැඩි කොට අකමැත්තෙන් වුව ඔබව මෙහි තනිකර දමා හෙමිහිට පල්ලම් බැස ගියෙමි. ------------------------------------------------- රනේ/20අගෝ2024/ගල් සිත
හසරැලි 2 years ago 189 1 1
මල් පෙත්තේ සුමුදු බව පරදවන ඔය දෑත මැදිකරන් අතැඟිලි වලට කැටුව යමි මා එක්ක දිනක් තිස්සේ අත දරන් හිටි මල් පොකුර දැන් බරද? ලබා දී එය මගේ දෑතට විදාලන් නුඹෙ දෑත ගුවනට පොඩි බරක්වත් මා නුඹට උරුම නොකරමි කිසිදාක දෙඅත් පැටලුණු අද දින සපථ වෙමි මනමාලියට ඔය උවනේ පිපි සිනහ මල් විහිදුවයි මා හදේ සුවඳක් අඳුරේ පෑයූ සඳකුමරි මෙන් මගේ හදවතට නුඹ වඩින් ගං ඉවුරේ නුඹේ දෑත ගෙන මහ සයුර හමුවන තුරාවට එක්ව යමු බාධා ද බිඳගෙන එළඹෙනා හැම භවයකම... ✍️හසරැලි
Sanduni Malsha 2 years ago 172 1 0
sanduni
Ranatunge Jayawardene 2 years ago 233 0 0
තනි ගමන් යන්න බැරි තනිව හැසිරෙන්න බැරි තීරනත් ගන්න බැරි පෙරමුනට එන්න බැරි * මල වගේ සුමුදුවට හඳ වගේ ලස්සනට කවි වගේ මිහිරියට අපි ඕනැ ලෝකයට * සිතුවිල්ල ඔබේ මයි සැලකිල්ල ඔබේ මයි ලොකු කමත් ඔබේ මයි අපි ගැහැණු විතරමයි * පෙරමූණයි ඔබ ගන්නෙ අපි ඊට ඉඩ දෙන්නෙ ඔබ අසල ගැවසෙන්නෙ අඩු ලුහුඬු පුරවන්නෙ * එකත් පස්ව යි ඉන්නෙ හැමට පස්සෙයි කන්නෙ අන්තිමට නිදියන්නෙ පළමුවෙන් නැගිටින්නෙ * ගෙ දොර කල එලි කලා ළමයි ඇති දැඩි කලා වැඩ පොලෙත් වැඩ කලා හැමට අපි ගරු කලා * මුල් තැනද සම තැනද දෙන්න මට ඔබ කවුද? ගැහැණු අපි එක මිටට ජය අරන් එක දිගට ! * ගේ දොරත් අපි එකට වැඩ පලෙත් අපි එකට ගුණ දමෙන් අපි එකට ජීවිතෙන් ජය අපිට ! ---------------------------------- රනේ/18අගෝ2024/ ගැහැණු අපි
Ranatunge Jayawardene 2 years ago 300 1 0
ඔරලෝසු කටුවලට හන්දි රිදිලද කොහෙද දුවන්නේ හෙමින්මයි මං එක්ක තරහින් ද? * විටෙන් විට බුක් ගාන කුක්ක හොරැහින් බැලුවෙ ඇද වෙලාදැයි බෙල්ල මඟ බලා ගෙන ඉඳල * පිලුනු වේවිද මන්ද වේලපහ උයපු බත රසට, කිරටයි හැදුවෙ එයා කැමතිත් එහෙම * වෙනද වියරුව දුවන කබල් ලංගම බසේ හිටෝනව ඇති දිගට ගෑණුන්නෙ හැඩ බලං * හුළඟ වැඩ වරල වද පිච්චෙන්න රස්නෙ අද විලම්බීතව ගසුත් පාර බලනව නැවී * කුස්සියට ගිය ටිකට කවුද ඇවිදිල්ල ගෙට සපත්තුවෙ අඩි හඬට ටොමිය පැන්නනෙ කරට ! * මයෙ මහත්තය ඇවිත්..! දවස් තුනකට විතර .. ඒක මහ ලොකු කලක් මේ අපේ ජීවිතය. ---------------------------------------------- රනේ/14අගෝ24/අපේ ජීවිත
Ranatunge Jayawardene 2 years ago 244 0 0
මුහුණ සුදු වී වැඩිද මන්දා දෙතොල් වල රතු කැතද මන්දා කොන්ඩෙ කටු තව බරද මන්දා දීග දෙන්නට 'හදන' නන්දා * ප්‍රී ෂූට් ටික හැඩට ඕනා ඇවිද යනවිට ඔමරි පානා පෙම් හිනාවක් මවා පාලා විටින් විට මට හාදු දීලා * සාරි දවසට බද්ද විස්සයි මගෙ සුට් එක ගන්න විස්සයි හයර් කා' එක දිනට විස්සයි රෑට දවසට ඉන්න විස්සයි * හෝල් එක අපෙ අම්ම ගානේ පෝරු, නැට්ටුවො මාම ගානේ වීඩියෝ වැඩ අයිය ගානේ පොටෝ මල්ලිය අරය ගානේ * රත්තරන් ණය අරන් හැදුවා ගෙදර තරමක් සුද්ද කෙරුවා තාප්පෙත් මම පාට කෙරුවා අපේ ගෙදරම ඉන්න හිතුවා * අපෙන් පනහයි එහෙන් පනහයි මඟුල දවසයි, ලස්ස විස්සයි ! තෑගි ලැබුනත් ලස්ස හතරයි දැනටමත් ණය ලස්ස දහයයි * මේක මඟුලක් මාර උගුලක් ජීවිතේ මග ලගින කෙලියක් නෑයො, යාළුවො මොකා කීවත් හඳපානෙ පැන යාම ජොලියක් ! ------------------------------------------------- රනේ/10අගෝ2024/මඟුල
Ranatunge Jayawardene 2 years ago 209 0 0
එපා ඉල්ලනු ගැලවුම අසරණව දෑස් දල්වා මා දෙස මමත් ඇත්තෙන් අසරණයි, මරණයට ගෙන යන උඹ ළඟ.. ඒ ඝෝර, නොමිනිස් මිනිසුන් එකම මිනිසුන් දැයි සිතෙන.. * රූකඩයකි මමද නුඹ වන් මේ එකට හමුවෙන.. මෝහාන්දකාර දෘෂ්ඨියේ කර්ම ඉන්දන කොට ගෙන නාම, රූපය එකතුව එකින් එක මත දුවමින් ..!, 'ආත්මීයව', මගදි හමුවන.. * විචිකිච්ඡා නොවෙන් තව පෙර පස නොදක්නා වූ, දම්වැලකි කර්මෙන් ඇමිණුන මා ද නුඹ මෙන් සසරට... සංඛාරගත සිතැ'තිව තන්හාව නම් බැම්මෙන් බැඳ ඇදි ඇදී යන, මැරෙන, උපදින. ----------------------------------------------- රනේ/07අගෝ2024/විචිකිච්ඡා
Ranatunge Jayawardene 2 years ago 249 0 0
බිත්තියේ මේ කොනේ වකුටු වී බිම ඇනන් කමීසයෙ අත් වලින් උණු කඳුලු පොඟවමින් කිව්ව මම දෙවියන්ට දෙන්න මට ලෙච්චමී .! මම දිනූ මගේ පන .! මුදවලා බැමි වලින්.. * ජාතියෙන් වෙන් වුනත් ජම්මයෙන් වෙන් වුනත් අපේ ගැලවුම ඔබයි අපේ දෙවියන් ඔබයි මගේ ලොව මගේ පෙම ලෙච්චමී දෙන්න මට * ඔබ උන්න ඒ අහන් මගෙ දෑස් දෙස බලන් .. බොඳ වෙච්චි ඇස් වලින්, පෙනුනෙ මට ලෙච්චමී.. දෑතින්ම ඇස් වහන් ඔබට, මට පිටුපාන්. --------------------------------------------- රනේ/03අගෝ2024/පිටුපෑම
Ranatunge Jayawardene 2 years ago 246 0 0
හංදියේ අඹගහේ එල්ලිලා යකඩ කට දෙස් දෙවොල් තියනවා දුප්පත්ලු අපේ ගම හදනවලු අද හෙටම මුතු ඇටේ වගෙ වෙන්ටැ ? ආසියාවේ ලොකුම. * කිව්වහම මක්ක වෙද අපේ මේ මහත්තය ඉස්කෝලේ අටට ගියෙ උත්තරේ කොපි කරල ඉස්කෝලෙ ගුරුතුමී මගෙ කනට කොඳුරෙව්ව. * මේ හොඳා තියෙන හැටි උන්ට ගිය අපේ ගම රෙද්ද පල්ලෙන් හැලන පුරාජේරුව මොකට පැටික්කියො ගෙට ගනිo මේක හෙම ආවොතින් ! ගුරුතුමී මයි කිව්වෙ, පැටිකිරිය දිග ඇරන් අළුත් මංත්‍රී උන්ගෙ. ----------------------------------------------- රනේ/01අගෝ2024/අපේ ගම
Ranatunge Jayawardene 2 years ago 239 0 0
ඉඩෝර බිම තෙමාලු අවාරෙට ආ වැහි රැල්ල ඔබ .. * වියළි දඬු වුව පැලවෙන සරු පොළොව වන මා.. ඔබෙන් තෙත්වූ සෙනේ සිහිලෙන් පෙමෙන් නැහැවුනු හදවතේ.. සාර වියැකී මියදුනු, හරිතගුණ ප්‍රේමයක සුන්බුන් මත නැවත පැල කර.. මුල් ඇද්ද වූ දෙවෙනි පෙම, ඔබ. * නතර නොකලැකි සැඩ සුළඟ වන් ඈ ගෙන් යදිද්දී මා ජීවිතය යලි .. සී සී කඩව ගිලිහුණු ආත්මයේ පන්නරය, දුන්නේ කෙලෙසක ද මට? මේ ජීවිතය තුල යලි ඔබ, කිසිවකුට නොදෙවෙනි ව. -------------------------------------------- රනේ/29ජුලි2024/ දෙවෙනි පෙම
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps