චතුරංගි හර්ශිකා Nisadas Count (437)
චතුරංගි හර්ශිකා 5 years ago 276 2 2
දාහක් දෙනා අතරෙ එළි වෙනවා රෑ වෙනවා... මං වටේට ගොඩක් අය ඉන්නවා... හරියට එළිය පිරෙන්න හොදට ජනෙල් ඇරපු කාමරයක් ඇතුලෙ වගේ... ඒත්... මගෙ හිත ඇතුලෙන් හරි අමුතු පාළුවක් දැනෙනවා... හරියට, මම මේ හැම දෙයක්ම දිහා පිටින් ඉදන් බලාගෙන ඉන්නවා වගේ... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 268 2 2
හැමදාම හැමදේම දරාගෙන හිනැහෙන්න කදුළු නැති ඇස් දෙකක් මට ගෙනැල්ලා දෙන්න වැටෙන හැම මොහොතකම මගේ හිත සනසන්න නොහැකි නම් දෙවියො ඇයි මාව මැව්වේ ලොවට මම කියා කෙනෙක් ලොව නොහිටියා කියා තව කාටවත් කොහොමවත් පාඩුවක් නැහැනෙ ලොව රිදුම් වැලපුම් පිරුණු කුමට මේ මැවුම මට මට හිතයි හැර යන්න ඔබ මැව්ව හැම දේම - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 281 2 2
ගිනිගන්න පොළොවෙත් රස්නෙ නොදැනෙන... හෙන ගහන වැස්සෙත් ශීත නොදැනෙන... සාගතය ආවත් කුසගින්න දැනෙන්න නොදෙන... මියෙන මොහොතෙත් හයිය එක හිත... මගේ තාත්තේ ඒ නුඹ... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 268 2 3
දෙවියො ලෝකය මැව්වා... මිනිසුන්ව සත්තුන්ව ගස් වැල් මේ හැමදේම... මිනිස්සුන්ට හිතක් දුන්නා... හිනාව දුන්නා... කදුළු දුන්නා... ඒත් පුදුමයක්... දෙවියො සත්තුන්ට හැගීම් දුන්නා... ආදරය... වේදනාව...බය... මේ හැමදේම... ඒත්... කදුළු දුන්නේ නෑ... හිනාව දුන්නේ නෑ... ඔබ කවදාහරි දැකල තියෙනවද... සතෙක් අඩනවා, නැත්නම් හිනාවෙනවා? - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 269 3 2
කවියකට පුළුවන්ද හිත නිවා සනසන්න... කවියෙකුට පුළුවන්ද ලෝකයක් හඩවන්න... කවියන්ට කවි වලට ප්‍රීතියම පුරවන්න... නොහැකි නම් කවි කුමට හැම හිතම හඩවන්න... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 263 2 2
(පොත් හෙර) ඊයේ මැදියමේ මගෙ හදවත රැදුන... මගෙ නෙත් නින්ද උදුරාගෙන හිත නිවන... රසවත් පොතක පිටු කිහිපයකින් දැන්ම... මගෙ කවි පොතට කීමට ඇති තතු බොහොම... හිට්ලර් දරුණු නායකයෙකි ශාප ලැබූ ඔහුගේ රුදුරු සැඩ පාලනයට මැදි වූ එරටම වැසියන් පවා හරි දුක් විඳි අයුරු උන්ගේ මතක සටහන් තුළ ඇත කදුළු... පොත් හෙර ඈ නමින් ලීසෙල් වූ දැරිය හදවත මිදෙන හීතල හිම ඇති රැයක තම සොහොයුරා නෙත් ළග මියැදුනු අයුර දැකගත්තාය අසරණකම තුළ ගුලිව... ඒ හිම පොලොව තුළ හීතල හිම කැටියේ වර්නර් මිහිදන් කලේ උන් හිතකින්ද රැයේ තම පුතු හැර දමා යන්නට හිතන පැයේ අසරණ මවගෙ මුව මත වේදනා පෙනේ... වර්නර් ඔවුන් හැරදා දුර ගිය දිනයේ... ලීසෙල් එදා පළවෙනි පොත ළග හුන්නේ... සොහොන් පල්ලන්ගෙ අත්පොත හොර රහසේ... දැරියගෙ ගැහෙන සීතල දෑතේ රැදුනේ... කැපකරු යුවල ළග ඇය නවතා දිනෙක... ඇගෙ මව යන්න ගිය දා යළි නේන්නට... හාන්ස් හරි පුදුම මිනිසා ඒ ගෙදර... මිතුරෙක් පියෙක් වූවා පොඩි ළදැරියට... කාලය ගෙවී හිට්ලර් බිලිගත් බොහොම... හිතවත් හිත් ගොඩක් අහිමිව ගිය කලට... නොනවත්වාම පොත් හොරකම් කළ ඇයට... නරකක් කලේ නෑ දෛවය නපුරු වුව... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 260 2 2
අයෙක් සිනාසෙයි සතුටින් සැනසෙයි විඳියි... ඒ දෙයම... තවෙකෙක් කෝපයෙන් මුසපත්ව ශෝකයෙන් ආතුරව විඳවයි... භාරගන්නා ස්වභාවය අනුව විඳීම හෝ විඳවීම තීරණය වේ... ජීවිතය වනාහි මෙයයි... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 258 2 2
සද රැයක මැද මිදුලෙ වාඩි වී උන්නාම... උළු යටින් හොර හොරෙන් සද එන්න ගත්තාම... මගෙ අඩන ඇස්වලට ඒ එළිය වැටුණාම... බොද කදුළු වත පුරා හැකි වේවි දැකගන්න... මම දන්නවා නුඹට ඕන නෑ නවතින්න... ළංවුණේ හිතින් නම් නොහැක මේ ලෙස යන්න... නුඹ ගියත් නැතත් මම යා යුතුයි මගෙ ගමන... එ් නිසා අවැසි නම් තව නොඉද හැර යන්න... දස්කොන්ට හැකි වුණත් ප්‍රමිලාට පෙම දෙන්න... ඒ ආදරේ නිසා ජීවිතේ බිලි දෙන්න... ඒ තරම් පෙම් කරපු කන්නගී හැර යන්න... කෝවලන්ටත් හැකියි ආදරේ රවටන්න... නුඹට මට මොන පෙමද තවත් නොරැදී යන්න... පෙම් පුරාවත් තිබුණෙ පොත් වලයි හැමදාම... භව්‍ය ලොව තවම නැහැ සැබෑ පෙම දැකගන්න ප්‍රේමයත් විහිළුවක් ඉතින් දුක නැහැ ඔන්න... චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 279 3 4
රළු ග්‍රීස්මේ දිනෙක මම රැදෙන මේ මොහොත... හිරු දවන රත් අහස ගෙනෙයි ගිනියම් සුළග... තල් අරඹ මැදින් එන නේක විධ වූ නාද... ඇතිකලේ වෙනකව්ද දෙමලිච්චො නුඹ මිසක... කෑම සොයලා ඇදෙන ලේන් පැටියෙක් වරෙක... රළු පොලොව මත වැටී බලා සිටියා මදෙස... මොහොතකින් සිහි එලව ගත් නිසා ඌ හනික... උසම උස අත්තකට දිව ගියා ඒ විගස... ආකහේ වලාකුළු එකක්වත් නැතුවාට... හවහාට වහින්නට බැරි කමක් නෑ මෙහෙට... ගිනියමට ගිනිගන්න තණ පදුරු තෙත් වෙන්න... වැහි පොදක් ආවොතින් මනාපයි අද හවස... ඉරිඟු යායට උඩින් කපුටු රෑනක් හෙමින්... පියාඹාගෙන ගියා ඊසාන දිශාවට... ලතෙත් දිය ඇලි ගලන කදුකරයෙ හීතලට... උනුත් ළගදීම යයි හැර දමා මේ හුළග... මම උපන් මගේ ගම හැර දමා කොහි යම්ද... මෙයයි මගෙ උරුම ලොව මගේ විජිතය තැනුන... මෙහිම ඉපදී දිනෙක මේ බිමේ මගෙ සොහොන... ඉදිවේවි එයයි මගෙ දෛවයේ උරුමකම... මේ ග්‍රීස්මේ තුළම මේ වියළි පදුරු තුළ... අනුන් නොදකින සිසිල මගෙ නෙතට දකිනු හැක... මමයි කවියා කටුක ගිනියමට පෙම් බදින... මගේ කවි හිත පුරා ඇත සෙනෙහෙ දිය නිතර... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 296 3 3
අද හවස අහම්බෙන් මගෙ නෙතට මුණ ගැහුන සොඳුරු දසුනක් නිසා හිත අතීතෙට ගියා... පොඩි එවුන් රංචුවක් සරුංගල් හදාගෙන හිනා සයුරක් මැදින් දුර ඈත දිව ගියා... මං පුංචි අවදියේ මගෙ පුංචි ගම පුරා පුංචි උන් එකතු වී හැමදාම හිනැහුනා... නිකිණි මහ ග්‍රීස්මේ ඉර තදට ඇදුනු දා හැන්දෑව පුරාවට වෙල් දෙණියෙ දිව ගියා... ගමේ ඇළ පාර මැද පුංචිඋන් එකතු වී කෙහෙල් කොට පාරුවේ ඉහල පහලට ගියා... වැහි දාට කඩදාසි ඔරු අරන් මිදුල මැද පුංචි මුහුදේ අපිත් කපිතාන්ලා උනා... කෝටු හිටවපු පුංචි සෙල්ලම් ගෙදර ඇතුලෙ ටීචලා අම්මලා පුංචි උන්මයි එදා... ලදු දෙණියෙ ගස් අතරෙ කොස් කොළ ඔටුනු පැළද අපි අපේ හීන ලොව මොහොතකට රජ වුණා... මහ වීර සටන් මැද ජය ලබන විරුවාට මාලිගාවේ ම තනි අයිතියත් හිමි වුණා... තවත් දිනයක ලන්දෙ කටු පදුරු මැද්දෑවෙ හොර කල්ලියක මමත් නායක හොරෙක් වුණා... ගං දෙවැටෙ ගඩාගෙඩි අපෙ පුංචි ඇස් වලට කොයිතරම් හැංගුනත් හංගන්න බැරි වුණා... ඒ තරම් නිදහසක් අපි අපේ හිත් ඇතුලෙ තුරුළු කරගත් එදා අද පවා සිහිවුනා... මගෙ ළමා කාලයට ආයෙමත් දිව යන්න මගේ හිත අදත් මගෙ හදවතට බල කලා... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 268 3 4
2020 අගෝස්තු මස 15 වැනිදා ප.ව. 06.35 කියන්නට බොහෝ දේ මා සතුව ඇත අදත්... මගේ දිනපොත නුඹයි මගේ දුක සැප අසන්... නිසදැසින් කවි වලින් බොහෝ දෑ මම ලියත්... නුඹේ මුව මත ලියා මම නිදහසක් සොයම්... ඉතින් මාගේ සබද අද ගොඩක් දිග දිනක්... හිරු පෙරඹරින් ඇවිත් දවාලයි මිහි කතත්... උදෑසන ගේ ගාව ලන්ද මැද්දේ හුගක්... කුරුළු කිරිලියො ඇවිත් ගීත ගැයුවා පැයක්... හිරු මුදුන් යාමයේ හරි ග්‍රීස්මය වුණත්... දුර අහසෙ වලාකුළු දෙකක් තිබුණා තවත්... මම ඉතින් හැමදාම වගේ මගෙ පොත් ගොඩත්... පින්සලය පැන්සලය සමග ගෙව්වා දිනක්... හැන්දෑව ගෙන ඇවිත් අවරඹර රතු කරන්... හිරු ඉතින් බැස යන්න සැරසුණා ආයෙමත්... සදු අහසෙ නැගෙන්නට තව තිබේ පැය දෙකක්... රැය වඩින තුරු ඉතින් බලා ඉමු අපි තවත්... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 380 3 4
ගන කලුවරට නෙත් අඳ වෙන රෑ යාමේ කඩුපුල් මලට පිණි බිඳු දෙන ගිම්හානේ හරි සීතලට හිත ළග නැවතුණ හීනේ මගෙ කවි මනස රෑ ගගනත රැදුනානේ... සදවත අහස මැද්දේ කරලියට වැදී මේ රෑ රංගනය කෙරුමට දෝ සැරසී ආසිරි පතන ගගනත නිල් වලා රැලී සදවත වටා තාලයකට පියාඹතී... තරු කැල නේක විසිතුරු සිතුවම් මවතී සදවත ඊට ආලෝකය බෙදයි නිතී රැගුමට යුගල නැටුමක් රෑ මලක් රිසී වවුලෙක් පෙම්වතිය සමගින් එයි සැරසී... කනාමැදිරියෝ රෑනක් පේලි සැදී ගගනත වේදිකාවට දැන් කඩා වැදී සමූහ නර්තනයක හැඩ ගෙනා නිසී තරු වැල් පවා පුදුමෙන් මෙන් බලා වුණී... මදනළ වලාකුළු සමගින් එකට බැඳී කළු පටසළුව ගගනත මැද්දේ එලතී සිනමා හලේ කළුවර මැද එළිය දිදී සදවත පහන ඒ මැද්දේ සිනාසුණී... ජය ගෝසා දෙන්නට උඩ බලා නිතී ලන්දේ වෙලේ ගෙඹි රෑනක් රැදී වුනී තරු රංගනය කරනා මොහොතකදි එබී පලගැටියෝ ගීත නාදය ලබා දුනී... සංගීතයට ආලෝකය මැදට වෙලා කලු ගගනතේ දිලිසෙන කහ සළු පටලා තරු රංගනය ඇරඹිනි ගගනත සරසා ගෙඹි රැල දුන්න ඔල්වරසන් ඇසෙයි මෙදා... රෑ අහසේ තරු සාදය ජයට වුණී හැමටම කන්න කිරි පැණි නොඅඩුව තිබුණී බොන්නට පිණි වතුර ගෙනදුනි වලා රැලී මේ නම් මගුල් සක්වලකැයි මට සිතුණී... - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps