1,804 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 5 years ago 308 5 8

Nisadas Image

කඳුළු

හිත පුරාවට නොහිතාම
සිතුවිලි මැවුනේ රහසේම
නිශා නීල ගගනත පාරන
තරුවක් වුණා සදාදර නුඹ මට...

හද මල මිලිනව හඩන
චංචල ඇසිදිසි හීනවල
යළි යළිත් නැවතී කුමට
හද පෑරී ගලයි කඳුළු නිතරම...

සන්තාප ලතැවුල් එමට
නිවුණු කල ආදරයේ පහන් සිල
මතක සිළු අවුලා යළිත්
පතන්නේ කඳුළු නොවෙද මම...

වහින්නට පෙරම වැහි අදුරට
හිත බයෙන් ගැහෙයි මතක මීදුම අසල
නෙත හුරු නමුත් දැන් මේ කඳුළට
හිත තවම හුරු නැහැ පාළුවට...

මහා වැස්සකට පසුව එන
සීතලම පාළු දවසකට
මතක එක්කම අහසේ පායන
පුංචිම පුංචි තාරකාවක් නුඹ...

වසන්තය මැරුණා වුණත් දවසක
හිතේ කහටක් නැහැ නුඹ ගැන
ආදරෙන් ළං කරන් නුඹව සනසන්න
මට හැකියි හැමදාම ජීවිතේ කඳුළු පිසින්න...

නෙතු අගින් වැටෙන කඳුළු කැට
වැටුණේම නිරන්තර නුඹ නමට
ආසයි මං වෙනුවෙන් වැටෙන
නුඹේ එකම එක කඳුළක් දකින්න...

ආදරේ හිත පතුලෙම පැළ වුණාම
දෝරෙ ගලන සෙනෙහසේ ගංගාව
හිත් යායම පිස දමාගෙන
නෙත් දෑලෙන් ගොඩ ගලන අපූරුවයි ආදරය...

මම,
චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps