437 Total Nisadas Found


චතුරංගි හර්ශිකා Nisadas Count (437)





චතුරංගි හර්ශිකා 5 years ago 246 3 3

Nisadas Image

අපේ කතාව

තවත් පිටුවක්

කිසිවකු සමඟ බෙදාහදා ගන්නට හඬාවැටෙන්නට නෝක්කාඩු කියන්නට දුකක් දැන් ඉතිරිව නැත. විශාදය සුව වී ඇත. එක්වරම හිතට දැනෙන පුදුමාකාර සැහැල්ලුව කුසට දැනෙන සනීපය, ලෝභ කටයුතු ය.

එය එතරම්ම මිහිරි ය.එවිට අතීතය දෙස හැරී බලමින් නැවත හාරා අවුස්සමින් අතීත සුවඳ මතක විඳිමින් ඒ මිහිර අවසන යලිත් දුකටම වැටෙමි. අවසන් වන දිනයක් මම නොදනිමි. අවසන්ය සිතා සැනසීමි. නමුත් මොහොතකට හදවත පෙළෙමින් කුසට වේදනා දෙමින් නුඹ නැවත මා තුලම උපදී. පුරුදු කඳුල නෙත් කෙවෙනි තුළින් උපත ලබයි. නැවත නැවත හඬමි.

දිනෙක මේ සියල්ල මතකයක් වී යටිහිතේ නිදනු ඇත. නමුදු කලෙක දී යළිත් උපත නොලබාවිදැයි කාටනම් කිවහැකිද ?

චතුරංගි හර්ශිකා 5 years ago 197 2 2

Nisadas Image

අපේ කතාව

තවත් පිටුවක්,

හිත තැන්පත් ය. එහෙත් විටින් විට නිසල මුහුදේ නගන රළක් මෙන් හැඟීම් රැල්ලක් විත් නිසල හිතට දබර කර නෙත් දෑල තෙත් කර නැවත යයි. තවමත් සොයමි. ගුරුගීතයේ දුටු දුයිෂෙන් නුඹ ද? නොහඳුනමි. නොතේරෙන හැඟීම් ගොන්නක මම ඔබව සොයමි. මට තවමත් ඔබව තේරුම්ගත නොහැක. අපි හමුවුණේ ලං උනේ, එය අහම්බයක් ද?

එය එසේ නොවුනා නම් නුඹ සතුටු වනු ඇත. මම එය දනිමි. නුඹ වැරදිකරුවෙකු කොට සමාජය නම් වූ ජූරිය අභිමුවට රැගෙන යාමට මට අයිතියක් නැත. ඔබ නිදොස් ය. වැරැද්දක් ඇත. වැරදිකරු ඔබ නොවේ. මම ද වැරදිකරුවෙක් නොවෙමි. වරදක් සිදුවී නැත.

නමුත් නිරන්තරව මාරු කිසිදු පණිවිඩයක් යලිත් නොඑන බව සැබෑවකි. යන්නට ගිය මග අතර මග හෙනයක් වැදී වන්දනාකරුවන් මියගිය සෙයකි.

චතුරංගි හර්ශිකා 5 years ago 246 2 2

Nisadas Image

අපේ කතාව

අහිමි නුඹට ලියමි,

එදවස නුඹ නමින් පදවැල් ගළපන්නට ඉසිඹුවක් නොලද්දෙමි. කාලයේ චණ්ඩ මාරුතය ජීවිත හරහා හමාගිය වේගය මෙතෙකැයි කිව නොහැක. ගොලු වී බලා උන්නෙමි. එකිනෙකට බැඳී නොනැවතී සිදුවුණු සිද්ධිදාමය වේගයෙන් සිදුවූ අරුමය, එය නම් අරුමයක් ම ය. සංකීර්ණ ව්‍යාකරණ අතර අපේ කතාව ගොතන්නට මට ඉඩක් නොලැබුණු හැටි නම් පුදුම ය.
පුංචි හැඟුමක් පවා කවි කළ හිත ගොළු වූ අයුරු පුදුම ය. මෙය මෙසේ අවසන් වන්නට නියමිතව තිබූ හෙයින් ඒවා එසේ සිදුවන්නට ඇත. සැබෑවටම ඒ හමුවීම් ගෙන ආවේ හෙට දවස පිළිබඳ අවිනිශ්චිත බවකි. සතුටින් සිනාසුන නමුදු යටින් වූයේ ප්‍රිය විප්‍රයෝගය ලකුණු ය. වෙන්වීමත් අත ළඟ ඇති බවක් නිරන්තරයෙන් ම සිතුනි. ඔබෙන් වෙන්වී යන්නට නියමිත ව තිබූ නිසා මට එසේ හැඟෙන්නට ඇතැයි සිතමි. නමුදු මා මළගිය ඇත්තෝ තුළ දුටු දෙවෙන්දොරා නුඹ විය. මා විරාගයේ දුටු අරවින්ද නුඹ විය.

සියල්ල අවසන සිත තැන්පත් ව ඇති මේ ඉසිඹුවෙහි මම ලියන්නෙමි. මටම සීමා වූ ඔබට අවැසි නැති, ඔබට නොතේරෙන, ඔබ අකමැති, පිටු ගණන් කතාන්දරය මම ලියන්නෙමි.

චතුරංගි හර්ශිකා 5 years ago 243 2 2

Nisadas Image

නුඹ සහ මම

උඹට මතකද ඒ දවස්වල
නිරන්තර අපි හමුවුණා...

හැම උදේකම හැම හවසකම
මුවග මදහස දිලිසුනා...

ඒ නිමේෂය අසුරු සැනෙකින්
මගෙ ලොවෙන් පිටමං වුණා...

තවම දන්නෑ අපේ ප්‍රේමය
හැර ගියේ නුඹ ඇයි කියා...

එකම පොළොවක ඉවුරු දෙකකදි
ආදරෙන් අපි හිනැහුණා...

නුඹේ පපුවේ උණුසුමට මම
සෙනෙහසින් තව ළං වුණා...

අපිම ඉදි කළ අපේ ලෝකේ
අපි අපිව සොයමින් ගියා...

මාව හැරදා දුරක් යන්නට
හැකි වුණා පුදුමයි මෙදා...

නිතර මගෙ හිත අහනවා දැන්
උඹට කොහොමද යැයි කියා...

මම දන්නෙ නෑ කොහේ ඇත්දැයි
කුමක් කරමින්දැයි කියා...

මිණිපුරේ එක බිම් ඉසව්වක
මතු දිනෙක මම නැවතිලා...

නුඹට රහසින් සොයනවා යළි
නුඹට කොහොමද යැයි කියා...

නුඹ පරාජිත ජීවිතේ තුළ
සතුට නොවිදින බව සැබැයි...

නමුත් ජයගන්නට ඕනි නැති
උඹේ උන් හරි කම්මැලියි...

එක තැනම දින ගෙවී දවසක
අපි හැමෝමත් මහළු වෙයි...

දන්නවද ඒ දින පවා නුඹ
ඉන්නෙ ඔය මතයේ තමයි...

කාසි සොයමින් තැවෙන්නට මට
අවැසි නෑ ජීවය කෙටියි...

නමුත් මම මගෙ හීන පසුපස
ගොස් දිනමි මගෙ ලොව එයයි...

නුඹ නැති ලොවේ මගේ හිත ළග
යළිත් ප්‍රේමය නූපදියි...

දිනෙක හමුවනු ඇති යළිත් අපි
එදින ඔබ මට තව දුරයි...

- චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps