Ranatunge Jayawardene 2 years ago 222 0 0
කුලී වැඩ කරල හරි
අපා දුක් විඳ විඳ
උසස් පෙල කරේ,
සරසවි ගියේ
මගේ සා ගින්න නිවා ගන්නම
නෙමේ කියල දන්නවද උඹ..
උඹ හිතුවද එහෙම ..?
**
බැටන් පොලු පාර
දීපන් තව ..
ඔව්, තව දීපන්..
අපි කරේ ලොකු වැරැද්දක්
අපි හිතුවෙ,
උඹල අපි ඔක්කොම ගැන
දුක් විඳින ඔක්කොම ගැන..
ඒක තමයි
උඹ නොදන්න,
අපි කරන,
අපි හැමදාමත් කරන
ලොකුම ලොකු
වැරැද්ද ..
**
කඳුලු ගෑස් ගැහුවට
අළුත් කඳුලු ආවෙ නෑ බොල ..
ඒ,
අපේ පුරුදු කඳුලු ..
උඹල හිතලම අමතක කරපු,
උඹල අපි
කාගෙත් කඳුලු..
**
මට සල්ලි නෑ..
අපි දුප්පත්..
ගෙදරත් ප්‍රශ්න..
මේක මගේ කරුමෙ නෙමෙයි
මේ කරුමෙ අපේ.. ඔව්,
කමක් නෑ..
තව ගහපන් ..
හයියෙන් ගහපන්..
නැති කරපන් අපි මෙතනම
දිනපන් තරු, පටි ඔක්කොම
උඹ..
**
අපි තරහ නෑ..
උඹල පව් ..
උඹල දන්නෑ..
ඔව්, උඹල පලි නෑ .. ඇත්තමයි..
අපියි වැරදි,..
ඔව් අපි වැරදියි!
අපි එකට ඉපදිච්ච එක වැරදියි
අපි,
උඹලගෙ ලෝකෙට ආපු එක
වැරදියි !
සමාවෙයන් .. අපිට..
ඔව්.. උඹල පව් ..
උඹල ඔක්කොම.
----------------------------------------
රනේ/22ජුනි2024/අරගල